රාජ්‍ය බැංකු තුනක් ඇතුළු බැංකු 05කට මහ බැංකුවෙන් රුපියල් මිලියන 10.75ක දඩ

ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය සහ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය මගින් මේ වසරේ ජූලි 01 සිට නොවැම්බර් 16 දක්වා කාලය තුළදී රාජ්‍ය බැංකු තුනක් ඇතුළුව බැංකු 05කට රුපියල් මිලියන 10.75ක දඩ පැමිණවීමක් සිදු කර ඇතැයි පවසයි.

අදාළ මූල්‍ය ආයතන මගින් 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍ය බුද්ධි ඒකකය මගින් මෙම දඩ පැමිණවීම සිදු කරයි.

ඒ අනුව ඩී.එෆ්.සී.සී. බෑන්ක් පීඑල්සී, මහජන බැංකුව, ලංකා බැංකුව, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී සහ ජාතික ඉතිරි කිරීම යන බැංකු මෙලෙස දඩ පැමිණවීමට යටත් වී තිබේ.

මේ අතරින් ඩී.එෆ්.සී.සී. බැංකුව වෙත පසුගිය සැප්තැම්බර් 08 වැනිදා රුපියල් මිලියන හතරක දඩ පැමිණවීමක් සිදු කර තිබේ. එහිදී ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුකූල නොවීම මේ සඳහා හේතුව වී තිබේ. එම බැංකුව මෙම දඩය ඔක්තෝබර් 07 වැනිදා ගෙවා තිබේ.

මහජන බැංකුව සඳහා පනවා ඇති දඩයේ වටිනාකම රුපියල් මිලියන 2කි. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා මෙම දඩ පැමිණ වීම සිදු කර තිබේ. මෙහිදී බැංකුව මගින් සිය මුළු ගනුදෙනුකාර පදනම හෝ පවතින සියලුම ව්‍යාපාරික සම්බන්ධතා පිරික්සීමට අපොහොසත්වීම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රෙගුලාසි යටතේ නම් කරන ලද පුද්ගලයන් සමග ව්‍යාපාරික සබඳතා පැවැත්වූ අවස්ථා නිරික්ෂණය වීම මෙම දඩපැමිණවීමට හේතුවකි. ඔක්තෝබර් 11 වැනිදා බැංකුව විසින් එම දඩය ගෙවා තිබේ.

එසේම ලංකා බැංකුව වෙත පසුගිය ඔක්තෝබර් 13 වැනිදා රුපියල් මිලියන 3ක දඩ පැමිණවීමක් සිදුව තිබේ. එහිදීද හේතුව වී ඇත්තේ බැංකුව මගින් සිය මුළු ගනුදෙනුකාර පදනම හෝ පවතින සියලුම ව්‍යාපාරික සම්බන්ධතා පිරික්සීමට අපොහොසත්වීම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රෙගුලාසි යටතේ නම් කරන ලද පුද්ගලයන් සමග ව්‍යාපාරික සබඳතා පැවැත්වූ අවස්ථා නිරික්ෂණය වීමයි. නොවැම්බර් 14 වැනිදා මෙම දඩ මුදල බැංකුව විසින් ගෙවා තිබේ.

නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව වෙත පැමිණවී ඇති දඩයේ වටිනාකම රුපියල් මිලියනයකි. ඔක්තෝබර් 13 වැනිදා මෙම දඩය පැමිණවී තිබේ. එහිදී ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා නොකිරීම ඇතුළු රීතින්ට අනුකූල නොවීම ඊට හේතුව වී තිබේ. නොවැම්බර් 14 වැනිදා බැංකුව මෙම දඩය ගෙවා තිබේ.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පනවා ඇති දඩයේ වටිනාකම රුපියල් හත්ලක්ෂ පනස් දහසකි. ඔක්තෝබර් 13 වැනිදා එය පනවා තිබේ. එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ නම් කර ඇති පුද්ගලයන්ගේ ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අපොහොසත්වීම මෙම දණ්ඩනය පැමිණවීමට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා යටතේ සම්බාධක සම්බන්ධව නම් කරන ලද පුද්ගලයන් හෝ ආයතන සමග ව්‍යාපාරික සබඳතා පැවැත්වූ බවට එම පරීක්ෂණයේදී අනාවරණය වී නොමැති බවත් මහ බැංකුව පවසයි.

Visits: 43