සහනදායී කොන්දේසි යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ අනුමැතිය

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA)  සහනදායී මුල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ලෝක බැංකුව අද අනුමැතිය ලබා දී ඇතැයි පවසයි.

මෙම අනුමැතිය ලැබීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය යටතේ මුල්‍ය පහසුකම් ලබන රටක් වන බවය. අඩු පොලී අනුපාත යටතේ ලබාදෙනුු ලබන මෙම මුල්‍යය පහසුකම් ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දුගී සහ අවධානමට ලක් වී ඇති ජන කොටස් ආරක්ෂා කිරීමට රජය ක්‍රියාත්මක කරන ප‍්‍රතිසංස්කරණ වලට උපකාරී වනු ඇත.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක බැංකුවේ සංවර්ධන මුල්‍ය පිළිබඳ උප සභාපති අකිහිතෝ නිෂියෝ, “ පවතින ආර්ථික අභියෝගය හමුවේ නැවත රට යථා තත්වයට පත් කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමට අපි කැපවී සිටිනවා. තිරසාර ආර්ථික වර්ධනයට අඩිතාලම යොදමින් රට තුළ දිළිඳු කම අඩු කිරීමට සහ නැවත ආර්ථිකය  ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්  ක්‍රියාත්මක කිරීමට  ලෝක බැංකු සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම්.” යනුවෙන් පවසා තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්වටයට  පත් කිරීමට සහ අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී, ලෝක බැංකුව ජාත්‍යන්තර සංවර්ධන සංගමය හරහා සහනදායී මුල්‍ය පහසුකම්, තාක්‍ෂණික සහාය සහ ප‍්‍රතිපත්තිමය උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙයි.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහනදායි මුල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබීම නිසා, ජාත්‍යන්තර සංගමය ලබා දෙන වඩාත් හිතකර කොන්දේසි වලට අනුව දැනට පවතින ණය සේවා පීඩනය සමනය වනු ඇත. ඒ සමඟම ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ මෙහෙයුම් ප‍්‍රතිපත්ති වලට අනුකූල වීම අවශ්‍ යවේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ තීරණාත්මක අවශ්‍යතාවයන් පවතින මේ මොහොතේ,  වාර්තාගත කාලයක් තුල මුලික අවශ්‍යතා සම්පාදනයට සහ ආයතන පද්ධති  ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහයෝගය දක්වන ලද පළමු සංවර්ධන හවුල්කරුවා ලෙස ලෝක බැංකුවේ කඩිනම් ප‍්‍රතිචාරය සහ එහි දැක්ම අපි අගය කරන්නෙමු”, යනුවෙන් පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා “ජාත්‍යන්තර සංවර්ධන සංගමය යටතේ මුල්‍ය පහසුකම් ලබන රටවල් අතරට නැවත පිවිසීමට සුදුසුකම් ලැබීම නිසා, ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට හා  විවිධ අභියෝගවලට  ඔරොත්තුදීමට  හැකි ආයතන පද්ධතියක් තිරසරව පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් වෙත ලගාවීමේ හැකියාව අපට ලැබෙනු ඇත.” යනුවෙන්ද පවසා ඇත.

2017 වසරේදී ශ්‍රී ලංකාව පළමුවරට ජාත්‍යන්තර සංවර්ධන සංගමයට අයත්වන රටවල් කාණ්ඩයෙන්  ලෝක බැංකුවේ ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD)  යටතේ ණය පහසුකම් ලබන රටවල් අතරට පිවිසීය. එම වසරේ සිට, ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහාවන ජාත්‍යන්තර බැංකුවෙන් ණය ලබා ගැනීම සඳහා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකිණි.

අද දක්වා රටේ පවතින ආර්ථික අර්බුද තත්වයට ප‍්‍රතිචාර වශයෙන්, මූලික සේවා අවශ්‍යතා සඳහා ලෝක බැංකුවේ ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් සහ වෙනත් සාමාන්‍ය බැංකු මෙහෙයුම් වලින් ඩොලර් මිලියන 71ක් දැනට ඇති අරමුදල් වලින් වෙන් කර දී ඇත. මෙම තත්වය  අනෙකුත් බහු පාර්ශ්වික සංවර්ධන ආයතන, ද්වීපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන වලින්ද සහාය ලබාගැනීමට උපකාරී වී ඇත.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයට අයත් රටවල් අතරට නැවත පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමත් සමග එම සංගමයට අයත් සමස්ත රටවල් සංඛ්‍යාව 75ක් වී ඇත.

Visits: 15