කොළඹ උද්ධමනය පිට පිට දෙවැනි මාසයටත් පහළ බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී 61%ක් ලෙස සටහන්වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙය ඔක්තෝබර් මාසයේදී වාර්තා කළ 66%ක උද්ධමනය හා සැසඳීමේදී සැලකිය යුතු ලෙස පහළ යෑමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ඔක්තෝබර් මාසයේදී 85.6%ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, නොවැම්බර් මාසයේදී 73.7%ක් දක්වා පහළ බැස තිබේ. ඒ අනුව ආහාර කාණ්ඩයෙහි කුකුල් මස්, නැවුම් මත්ස්‍ය සහ කරවල මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑමක් දක්නට ලැබී තිබේ. එහෙත් කිරිපිටි මිල ගණන්හි ඉහළ යාමක් සිදුව තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී පැවැති 56.3%ක අගයේ සිට නොවැම්බර් මාසයේදී 54.5%ක් දක්වා පහත වැටුණි.

මෙහිදී මූලිකවම සෞඛ්‍ය සහ රෙදිපිළි සහ පාවහන් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑමක් සිදුව තිබේ. එහෙත් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ නිවාස ජලය, විදුලිය,ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කිරීම්, පිළිසකර කිරීම්, එල්පී ගෑස්) උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ සමස්ත මාසික ඉහළ යෑම සැලකිය යුතු ලෙස අවම කිරීමට හේතු වී තිබේ.

ඡායාරූපය – RoarMedia

Visits: 128