HSBC බැංකුව ඩොලර් බිලියන 10කට සිය කැනඩා මෙහෙයුම් අත්හරී

බහුජාතික වාණිජ බැංකුවක් වන HSBC හි කැනේඩියානු හස්තය වන HSBC CANADA බැංකුව එරට ක්‍රියාත්මක Royal Bank of Canada බැංකුව වෙත අලෙවි කිරීමේ එකඟතාවට පිවිස ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී කැනේඩියානු ඩොලර් බිලියන 13.5ක මුදලකට එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක මුදලකට මෙම ගනුදෙනුව සිදුවනු ඇතැයි Royal Bank of Canada හි ප්‍රධාන විධායක නිලධාරී ඩේවි මැකේ අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම මිලදී ගැනීම කැනඩාව තුළ ආයෝජනය කිරිමට සහ වර්ධනයවීමට බලාපොරොත්තු වන ගෝලීය ගනුදෙනුකරුවන් වෙත වඩාත් හොඳ සේවාවක් ලබාදීමට එය උපකාරයක් වනු ඇතැයිද ඔහු පවසා ඇත.

1981 වසරේදී සිය මෙහෙයුම් ආරම්භ කළ HSBC CANADA බැංකුව සතුව අද වනවිට රට පුරා ක්‍රියාත්මක බැංකු ශාඛා 130ක් පවතින බව සඳහන් වෙයි. එහි සේවකයන් සංඛ්‍යාව 4,200කට ආසන්න වන අතර, පාරිභෝගිකයන් 780,000කට ආසන්න සංඛ්‍යාවකට සේවා සපයයි.

මෙම මිලදී ගැනීමේ එකඟතාවට පිවිසීම සිය බැංකුව වෙත මෙන්ම  Royal Bank of Canada වෙතත් උපායමාර්ගිකව වැදගත් වන බව HSBC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නොයෙල් කුයින් පවසා ඇත.

HSBC බැංකුව බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ජාත්‍යන්තර බහුජාතික බැංකුවක් වුවත්, එහි විශාලතම කොටස් හිමිකරුවා වන්නේ චීනයේ Ping An Insurance Group. සමාගමයි. ඒ අනුව එම සමාගම විසින් HSBC මව්සමාගම වෙත එල්ල කෙරුණු පීඩනයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කැනඩාව තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හැරීමට HSBC සමාගම තීරණය කර තිබෙන බව පැවසෙයි.

මේ අතර අදාළ ගනුදෙනුව සඳහා මිල කෙරී ඇති කැනේඩියානු ඩොලර් බිලියන 13ක වටිනාකම, එතෙක් මෙතෙක් කැනඩාව තුළ ක්‍රියාත්මක බැංකුවක් මගින් එරට තවත් බැංකුවක් මිලදී ගැනීම සඳහා ගෙවන වැඩිම මුදල් ප්‍රමාණයද වෙයි.

මෑතකදී නිකුත් කෙරුණු මූල්‍ය වාර්තාවකට අනුව මේ වසරේ ජූනි මාසය අවසන් වනවිට HSBC Canada බැංකුව සතුව ඇති සමස්ත වත්කම් ප්‍රමාණය කැනේඩියානු ඩොලර් බිලියන 125කි.

Visits: 184