EXPO Lanka සිය ව්‍යාපාර පුළුල් කිරීමට ලොජිස්ටික් සමාගම් කිහිපයක් අත්පත් කරගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික් සේවා සමාගමක් වන EXPO Lanka Holdings PLC සමාගම හඳුනාගත් ලොජිස්ටික් සමාගම් කිහිපයක් අත්පත් කරගැනීම සඳහා සැලසුම් කරමින් සිටින බව පවසයි.

මේ සඳහා අදාළ සමාගම් මගින් ඉදිරිපත් කර ඇති අභිමතය ප්‍රකාශ කිරීමේ (EOI) අවස්ථාව සඳහා වන යෝජනා තම සමාගම මගින් ඉදිරිපත් කර ඇතැයිද EXPO Lanka සමාගම සඳහන් කරයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දීමට එම සමාගම පියවර ගෙන තිබේ.

මෙම සමාගම් සියල්ලම ජාත්‍යන්තර වෙළෙඳ පොළ හා සම්බන්ධ සමාගම් වන බවත්, විශේෂයෙන්ම සිය ගෝලීය ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ සමස්ත ප්‍රතිපත්තිය යටතේ මෙම අත්පත් කරගැනීම් සඳහා සමාගම ඉදිරිපත්ව ඇති බවත් EXPO Lanka පවසයි.

කෙසේ වෙතත් තවමත් මෙම ලොජිස්ටික් සමාගම් අත්පත් කරගැනීම් සඳහා තමන් ඉදිරිපත් කර ඇති අභිමතය ප්‍රකාශ කිරීමේ යෝජනා තවමත් පිළිගැනීමට ලක්ව නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් වන අවසන් ගනුදෙනුවක් සඳහා පිවිස නොමැති බවත් එම සමාගම මෙහිදී අවධාරණය කර සිටියි.

එසේම මෙම අත්පත් කරගැනීම් කටයුතු සිදු වන්නේ නම් ඒවා සියල්ල පිළිගත් ක්‍රමවේද සහ අනුමැතීන්ට යටත්ව සිදුවනු ඇති බවටත් සමාගම පවසා සිටියි.

මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී EXPO සමාගම සිංගප්පූරුවේ පිහිටි සිය පූර්ණ හිමිකාරීත්වයක් සහිත EFL Global Logistics සමාගම හරහා එක්සත් ජනපදයේ Complete Transport Systems LLC ඩොලර් මිලියන 6.1කට මිලදී ගත්තේය. එසේම අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයේ පිහිටි IDEA Logistics LLC සමාගම මිලදී ගැනීමටද එම සමාගම පියවර ගත්තේය.

ඊට පෙර 2021 මාර්තු මාසයේදී එම සමාගම එක්සත් ජනපදයේ පිහිටි Seville Container Freight Station Inc. සමාගම ඩොලර් මිලියන 2.2කට මිලදී ගත්තේය.

Visits: 374