මස්ක් Twitter සේවකයන් 50%ක් ඉවත් කිරීම ගැන විරෝධය, “මම සමාව ඉල්ලනවා” – Twitter නිර්මාතෘ කියයි

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ හුවමාරුවේ වැඩසටහන ලෙස සැලකෙන Twitter හි නව හිමිකරුවා වන එලෝන් මස්ක් එහි සේවකයන් අතරින් 50%ක ප්‍රතිශතයක් ඉවත් කිරිමට ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය නොවැම්බර් 04 වැනිදා ඔහු ගත් තීරණයකට අනුව මෙම සේවකයන් ඉවත් කිරිම සිදුවිය. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා සිටි මස්ක්, තමන්ට එය හැර වෙනත් තෝරාගැනීමක් නොමැති වූ බව සඳහන් කර තිබුණි. එහිදී මෙම සේවකයන් සියලු දෙනා වෙතම මාස තුනක වැටුප් ලබා දී ඉවත් කිරිම සිදු කරන බවද මස්ක් වැඩිදුරටත් පවසා තිබුණි.

විශේෂයෙන්ම පසුගිය කාලසීමාවේදී මෙම Twitter සේවකයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් එම සමාගම වෙත ලැබිය යුතුව තිබූ ආදායම දරුණු ලෙස පහත වැටුණුබවත්, එහිදී විවිධ සමාජ ක්‍රියාකාර කණ්ඩායම් දැන්වීම්කාර සමාගම් වෙත විවිධ පීඩන එල්ල කළ බවත් ඔහු චෝදනා කරයි. එසේම මෙම කරුණු යොදා ගනිමින් එක්සත් ජනපදය තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම විනාශ කිරීමේ උත්සාහයක්ද පැවැති බවත් ඔහු පවසයි.

ඒ අනුව Twitter සමාගමේ සන්නිවේදන, මානව හිමිකම්, යාන්ත්‍රික උගෙනුම් ආචාරධර්ම මෙන්ම නිෂ්පාදන සහ ඉංජිනේරු කණ්ඩායම්වල සේවය කළ පිරිස් මෙහිදී ඉවත් කිරිම සිදු කර තිබේ. රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබූ ආකරයට මෙහිදී Twitter සේවකයන් 3,700ක් එනම් 50%කට බලපෑම් එල්ල වනු ඇතැයි පැවසෙයි.

මේ අතර මස්ක්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ලිපියක් මගින් දැනුම් දී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කටර් ටර්ක්, සමාජ මාධ්‍ය කළමකාකරණයේදී මානව හිමිකම් වෙත ගරු කිරිමක් සිදු කරන ලෙස දැනුම්දී තිබේ. එහිදී අදහස් දැක්වීමේ නිදහස මෙන්ම අනෙකුත් මානව හිමිකම්ද ආරක්ෂා කිරිමට මස්ක් කටයුතු කළයුතු බවටත් ප්‍රධානියා සඳහන් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය සිය ට්විටර් ගිණූම හරහා පවසා සිටියි.

එසේම Twitter සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් ඩොර්සේ ඊයේ දිනයේදී අදහස් දැක්වීමක් සිදු කරමින්, මේ සියලුම දේ සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නාබව පවසා තිබේ. “Twitter සමාගම තුළ අතීතයේදී සහ වර්තමානයේදී සිටින පිරිස ඉතාමත් ශක්තිමත් වගේම හොඳ ප්‍රත්‍යස්ථතාවක් සහිතයි. මේ අවස්ථාව මොන තරම් අසීරු වුණත් ඔවුන් මොනයම් හෝ මාර්ගයක් සොයා ගනීවි. මම දන්නවා ගොඩ දෙනෙක් මාත් සමගින් කෝපයෙන් ඉන්නා බව. අද මේ සියලු දෙනාම පත්ව සිටින තත්ත්වය ගැන මම වගකීම භාර ගන්නවා. මේ සමාගම මේ තරම් ඉක්මනට මේ තත්ත්වයට වර්ධනය කළේ මමයි. මේ සියල්ලටම මම සමාව ඉල්ලනවා.” ජැක් ඩොර්සේ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

Twitter සමාගමේ යුරෝපය සඳහා වන හිටපු උප සභාපතිවරයෙකු වන බෘස් ඩේයිස්ලි, එලෝන් මස්ක් Twitter සම්බන්ධයෙන් කිසිදු  අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි සඳහන් කර තිබේ. බෘස් 2015 සිට 2020 දක්වා යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය තුළ Twitter හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර Twitter සමාගමේ එකම ප්‍රධානියා ලෙස මස්ක් විසින් ගන්නා ලද තීරණයකට අනුව ඊයේ දිනයේ සිට Twitter ගිණුම වෙත නිල් පැහැති හරි ලකුණක් සහිතව සහතික කළ ගිණුමක් සඳහා මාසිකව ඩොලර් 8ක ගාස්තුවක් අය කිරිමටද පියවර ගෙන තිබේ.

Visits: 167