කප්රුක හෝල්ඩිංස් පීඑල්සී සමාගම කප්රුක ඉ-කොමර්ස් තුළ රු.මිලියන 35.7ක් ආයෝජනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (KPHL.N0000) සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන කප්රුක ඉ-කොමර්ස් (පෞද්ගලික) සමාගම (KAPRUKA E-COMMERCE (PVT) LTD) තුළ රුපියල් මිලියන 35.7ක මුදලක් ආයෝජනය කළ බව පවසයි.

මෙම කප්රුක ඉ-කොමර්ස් (පෞද්ගලික) සමාගම ඉ-වානිජ සේවාවන් සැපයීම වෙනුවෙන් ස්ථාපිත කෙරුණු සමාගමකි. කප්රුක හෝල්ඩිංග්ස් සමාගම සඳහන් කරන ආකාරයට පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මෙම ආයෝජනය සිදු කෙරී තිබේ.

මෙහිදී කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කප්රුක ඉ-කොමර්ස් (පෞද්ගලික) සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 476,000ක් මිලදී ගෙන ඇති අතර, එහිදී කොටසක වටිනාකම රුපියල් 75.00ක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 35.7කි.

මේ අතර සිදුකළ මෙම ආයෝජනය කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව අවස්ථාවේදී සිදු කළ සංස්ථා ප්‍රකාශයට අනුකූලව සිය අරමුදල් උපයෝගි කරගැනීමේ අවස්ථාවක් ලෙසද හඳුන්වා දෙයි.

මේ අතර කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් 2022 මාර්තු 07 වැනිදා කප්රුක ඉ-කොමර්ස් (පෞද්ගලික) සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 550,000ක් මිලදී ගත් බවත් සඳහන් කරයි.

එසේම එම අවස්ථාවේදී සමාගම මගින් රුපියල් මිලියන 15.7ක ණය මුදලක් අනුමත කෙරුණු බවත්, එයද සිය මූලික කොටස් නිකුතුව හරහා රැස්කරගත් අරමුදල් උපයෝගී කරගැනීමේ අවස්ථාවක් බවත් සමාගම පවසයි. එසේම එම ණය මුදල සැප්තැම්බර් 30 වැනිදා සිදු කළ මෙම ඉහත සඳහන් රුපියල් මිලියන 35.7ක මිලදී ගැනීමේදී කොටස් බවට පරිවර්තනය කරගත් බවත් කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 76