INSEE සිමෙන්ති IUCN සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම ‘ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN)’ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, එම සහයෝගීතාව හරහා ක්‍රියාත්මක වන සිය ගෝලීය ජෛව විවිධත්ව ව්‍යාපෘති තවත් වසර තුනකින් දීර්ඝ කර ගැනීමට කටයුතු කළේය.

මෙම අවබෝධතා ගිවිසුමට INSEE සිමෙන්ති සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ IUCN සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය භාර සම්බන්ධීකාරක, කලාපීය කළමණාකරණ නිලධාරී අන්ෂුමන් සයිකියා යන මහත්වරුන් විසින් අත්සන් තැබිණි.

“මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව කළමනාකරණය සහ ජෛව සංරක්ෂණය සඳහා INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව කැපවන බව තහවුරු කරනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම INSEE සිමෙන්ති සමාගම 2030 වසරේ දී සපුරා ගැනීමට බලාපොරොත්තු වන තිරසාර අභිලාෂයන්ගෙන් ප්‍රධානතම අරමුණක්. IUCN සංවිධානය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය මගින් INSEE සිමෙන්ති සමාගමේ තිරසාර ඉලක්ක වෙත ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතරම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වර්තමාන තත්ත්වය ගැන නිවැරදිව දැනුවත් වෙමින්, එම පරිහානිය අවම කිරීම වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන් කාර්‍යක්ෂම කිරීමේ හැකියාවත් අපට ලැබෙනවා.”යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ පාරිසරික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකරු රොහාන් ලක්මාල් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ කැණුම් කලාප පුනරුත්ථාපනය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම IUCN සංවිධානය සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය 2007 වසර තරම් ඈතට විහිදෙන අතර, එහි දී ලබාගත හැකි වූ අතිසාර්ථක ප්‍රතිඵල නිසා ම එම සහයෝගීතාව සෑම වසර තුනකට වරක් අඛණ්ඩව අලුත් කෙරිණි.

මෙවර දීර්ඝ කිරීමත් සමඟ ම INSEE හා IUCN අතර ගිවිසුම 2022 වසරේ සිට 2025 වසර දක්වා දීර්ඝ වන අතර, එම කාල වකවානුව තුළ ක්ෂේත්‍ර සමීක්ෂණ, ප්‍රතිසංස්කරණය කරන ලද නිරීක්ෂණය හා නිර්දේශ නිකුත් කිරීම, වනජීවීන් ගළවා ගැනීමේ හා මුදා හැරීමේ වැඩසටහන්, උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති කෘත්‍රිම කොරල්පර සංරක්ෂණය සහ කොග්ගල හා අරුවක්කාලු කඩොලාන ප්‍රතිසංස්කරණ ස්ථාන පිළිබඳ මූලික තක්සේරු කටයුතු දියත් කිරීම ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

IUCN සංවිධානය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අනෙකුත් පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව මෙම අවබෝධතා ගිවිසුම හරහා INSEE සිමෙන්ති සමාගමේ ස්වේච්ඡා සේවකයන්ට ද හිමි වීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (CEA) හා පළාත් පාරිසරික පනතේ (PEA) මෙහෙයුම් බලපත්‍ර, ශ්‍රී ලංකා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත, අනෙකුත් දේශීය මෙන් ම ජාත්‍යන්තර ගිවිසුම් හා රෙගුලාසි සහ රැම්සා සම්මුතියට අනුකූලව සිය නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය හුණුගල් කැණීම සඳහා වාර්ෂිකව සාමාන්‍ය අක්කර 25ක වනාන්තර ප්‍රමාණයක් ඉවත් කරයි.

එම අනුමත ක්‍රමවේදයට අමතරව, අදාළ ක්‍රියාවලිය මගින් සිදුවන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට, විශේෂ ජෛව විවිධත්වයන් හඳුනා ගැනීමට මෙන් ම අවට පරිසර පද්ධතිවලට ඉන් සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් පුළුල් ජෛව විවිධත්ව කළමනාකරණ සැලැස්මක් අනුගමනය කිරීමට INSEE සිමෙන්ති සමාගම IUCN සමඟ ගොඩනඟාගත් සහයෝගීතාව හරහා කටයුතු කරයි.

මෙම ව්‍යාපෘතියට සතුන් ගලවා ගැනීමේ හා මුදා ගැනීමේ වැඩසටහනක් ද ඇතුළත් වන අතර, එමගින් එතරම් වේගයෙන් චලනය විය නොහැකි සතුන් හා කුඩා සතුන් 2500 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කරවීම සිදු කරයි. වර්තමානය වන විට INSEE සිමෙන්ති සමාගම අරුවක්කාලු ආශ්‍රිතව හෙක්ටයාර 137කට අධික භූමි ප්‍රමාණයක් ඉතා සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

පසුගිය දශකය තුළ INSEE සිමෙන්ති සමාගම හෙක්ටයාර 66 ක භූමි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමේ තිරසාර අරමුණ පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන අතර, එම සමාගමේ නැවත වන වගා ව්‍යාපෘතිය හරහා 2023 වසර වන විට පුත්තලම හා ගාල්ල පිහිටි සිය නිෂ්පාදනාගාර ආශ්‍රිතව හෙක්ටයාර 7ක පමණ වෙරළබඩ භූමි ප්‍රදේශයක් තුළ කඩොලාන ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

ඓමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් විනාශ වූ සාමුද්‍රීය වාසස්ථාන හා කොරල්පර සංරක්ෂණය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම සහ IUCN සංවිධානය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) කොරල් විශේෂඥයන් සමඟ එක්වෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

මෙම නව වැඩසටහන් මඟින් INSEE සිමෙන්ති සමාගම දැනට පවතින ව්‍යාපෘති සමාලෝචනය කිරීමට සහ 2030 වසරේ දී සපුරාගැනීමට අරමුණු කරන INSEE තිරසාර අභිලාෂයන් ජෛව විවිධත්ව වැඩසටහන් ඔස්සේ වඩාත් පුළුල් කිරීමට සැළසුම් කර ඇති අතර, ඒ හරහා INSEE සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ස්ථාවර කිරීමට මෙන් ම ජෛව විවිධත්ව සංරක්ෂණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද අරමුණු කරයි.

Visits: 40