රොෂාන් මහනාමගේ දෙටු දියණිය සිය ව්‍යාපාරික ඉනිම තවත් ශක්තිමත් කරයි

මෙරට ජනප්‍රිය මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රොෂාන් මහනාම මහතාගේ වැඩිමහල් දියණිය වන රෂ්මිකා මහනාම මහත්මිය La Crème-Ceylon නමින් පවත්වාගෙන ගිය අතුරුපස ව්‍යාපාරය සිය පළමු අලෙවිහල ඊයේ විවෘත කළ බව පවසයි.

මහානාම මහතා සිය ෆේස්බුක් ගිණුම තුළ සිය දියණියට සුබපතා සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියි. ඇය මෙතෙක් කලක් නිවසේ සිට සිය ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිට ඇත.

විශේෂයෙන්ම මෙම නව ව්‍යාපාරය සාර්ථක කරගැනිම සඳහා ඇය දැක් වූ කැප කිරිම තමන් දුටු බවත්, ඇය අද පැමිණ තිබෙන සන්ධිස්ථානය දැකීමෙන් තමන් සතුටට පත්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සිය දියණියගේ ව්‍යාපාරයේ ඉදිරි සාර්ථකත්වය සම්බන්ධයෙන් තමන් සුභපැතුම් එකතු කරන බවත්, තමන් ඇය පිළිබඳව ආඩම්බරවීම ප්‍රකාශ කිරිමට ප්‍රමාණවත් වචන නොමැති බවත් මහනාම මහතා සඳහන් කරයි.

එසේම නිවසේ සෑදූ මේ රසවත් අතුරුපස රසවිඳීම සඳහා අවස්ථාවක් ලද හොත් La Crème-Ceylon වෙත පැමිණෙන ලෙසද රොෂාන් මහානාම මහතා සිය රසිකයන්ට ආරාධනා කර සිටියි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සහ උපදේශකයෙකු මෙන්ම තරග තීරකවරයෙකු ලෙස සිදුකළ සිය වෘත්තීමය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගොස් සිටින රොෂාන් මහනාම මහතාද, අද වන විට මෙරට තුළ බොහෝ සමාජ සත්කාරක වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දෙමින් සිටියි. ඒ සඳහා ඔහු විසින් රොෂාන් මහානාම භාරය ලෙස සිය නමින් අරමුදලක්ද පිහිටුවිමක් සිදු කර තිබේ.

මීට අමතරව වර්තමානයේදී දරුණු සෞඛ්‍ය ගැටලුවක්ව පවතින පුරස්ථිග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සහ පියයුරු පිළිකා රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙතද ඔහු සිය දායකත්වය ලබා දෙයි.

Visits: 515