මෙරට තුළ පළමුවරට වඳුරු උණ රෝගියෙකු හමුවෙයි

ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට monkeypox හෙවත් වඳුරු උණ රෝගියෙකු ඊයේ (03) දිනයේදී හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

මෙම රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත්, ඔහු පසුගිය පළමුවෙනිදා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අයෙකු බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියි.

ඔහු සතුව පැවැති උණ සහ සමේ බිබිලි හටගෙන තිබීම හේතුවෙන් පෙරේදා (02) ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ඉදිරිපත් වී ඇත. එහෙත්එ වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම රෝගියා වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර තිබේ.

ඒ අනුව එදින දහවලේ වෛද්‍ය පර්යේෂණ ආයතනය රෝගී තරුණයාගෙන් සාම්පල කිහිපයක් ලබා ගෙන ඇති අතර සෑම නියැඳියකම වඳුරු උණ රෝගය හඳුනා ගන්නා විශේෂිත ජාන තිබෙන බව එහිදී අනාවරණය වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම රෝගියා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අද වනවිට monkeypox ලොව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 2022 ඔක්තෝබර් 25 වැනිදා වනවිට 20,675 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ යුරෝපා කලාපය තුළදීය.

Visits: 56