SLIIT හි ROBOFEST 2022 තරඟාවලිය අති සාර්ථකව නිමාවට පත්වෙයි

SLIIT ආයතනයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ROBOFEST 2022’ තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය.

රොබෝ විද්‍යාව තුළින් ඉදිරියට ගිය අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ දක්ෂතාවයන් පුබුදුවාලමින් හා සහභාගීවූවන්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණු මෙම තරඟාවලිය පුරාවට කණ්ඩායම් අතර තියුණු තරඟකාරී මුහුණුවරක් ගෙන තිබීම විශේෂත්වයක් විය.

මාලඹේ SLIIT විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවසන් මහා තරඟය සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුණු අතර, එම කණ්ඩායම් විසින් ක්‍රීඩා උපක්‍රම, සැලසුම් සහ දක්ෂතාවයන් එළිදැක්වීම සිදු කෙරිණි.

SLIIT ROBOFEST තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම රොබෝ තරඟය ලෙස සැලකේ. මෙම වසරේ තරඟයේදී තරුණයින්ට ඔවුන්ගේ AI සහ තාක්‍ෂණ කුසලතා ඉගෙන ගැනීමට, ප්‍රදර්ශනය කිරීමට සහ පුහුණු වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර දෙන ලදි.
පාසල් කාණ්ඩයේ තරඟ, මට්ටම් දෙකක් යටතේ පැවැත්වූ අතර මේ සඳහා 100 කට වැඩි පිරිසක් ලියාපදිංචි විය.

සරල රොබෝවක් නිර්මාණය කර වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා සහභාගීවන්නන් හට උපදෙස් මාලාවක් ඇතුළත් තාක්ෂණික ලේඛනයක් සංවිධායකයින් විසින් සපයා දීමට පියවර ගත්තේය. මෙහිදී තෝරා ගැනීම් සියල්ලෙන් අනතුරුව අවසාන තරඟය සඳහා සහභාගීවන්නන් 38 දෙනෙකු තෝරා ගනු ලැබීය.

පාසල් අංශයේ ප්‍රථම ස්ථානය නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ‘Trojan 22’ රොබෝ නිර්මාණය විසින් ජයග්‍රහණය කරනු ලැබීය. දෙවැනි ස්ථානය ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ‘Line Follower Bot’ සඳහා ද තෙවැනි ස්ථානය අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ‘Sinon’ රොබෝ නිර්මාණය විසින් ද හිමිකර ගනු ලැබිණි. කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘Ralphy Boy’ රොබෝ නිර්මාණයට සහ D.S සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම් දෙකක ‘Ultra’ සහ ‘CYBERNOTS DSS’ යන රොබෝ නිර්මාණ සඳහා සැනසිලි ත්‍යාග හිමි විය.

මූලික ත්‍යාග සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා රොබෝ විද්‍යා ආයතනය (SLIR) විසින් පිරිනමන ලදි. සැනසිලි ත්‍යාග සඳහා අනුග්‍රහය Magicbit ආයතනය විසින් ලබා දුන් අතර තාක්ෂණික සහාය සපයා දෙනු ලැබුවේ MEU Labs ආයතනය විසිනි.

විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ පැවති තරඟය සැප්තැම්බර් මස 25 දා සිට 26 දක්වා පැවැත්විය. මෙවර තරඟාවලියේ ජයග්‍රාහකයකු නොමැතිව විශ්වවිද්‍යාල අංශය අවසන් වුවද එම කාණ්ඩයේ ත්‍යාගය ඊළඟ වසරේ තරඟයට රැගෙන යනු ඇත. මෙහි ත්‍යාග සඳහා Zone 24/7 ප්‍රධාන අනුග්‍රාහකයා වූ අතර, එම කාණ්ඩය යටතේ පිරිනමන ලද සැනසිලි ත්‍යාගය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ‘Team C’ විසින් දිනා ගනු ලැබීය.

මේ සඳහා Orange සහ ACCELR යන ආයතන ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුනි. SLIIT හි ඉංජිනේරු පීඨය, මාධ්‍ය ඒකකය (Media Unit) සහ Institute of Electrical and Electronics Engineers හි (IEEE) සිසුන් විසින් මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන ලදි.

අවසන් මහා තරඟයට පෙර, SLIIT විසින් ROBOFEST 2022 සඳහා සහභාගී වීමට කැමති සිසුන් සහ උපාධි අපේක්ෂකයින් සඳහා තොරතුරු සම්මන්ත්‍රණ කිහිපයක් සහ අන්තර්ජාලය හරහා වැඩමුළුවක් ද පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණ සිසුන්ගේ උනන්දුව උද්දීපනය කළ අතර, රට තුළ රොබෝ තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් වර්ධනය කරවමින්, මෙය ශක්තිමත් AI සහ රොබෝ විද්‍යා ප්‍රජාවක් සංවර්ධනය කිරීම සඳහා විශිෂ්ඨ සහාය වැඩසටහනක් බවට පත් විය.

තරඟය පිළිබඳව අදහස් දක්වමින් ROBOFEST 2022 සම්බන්ධීකාරක, ආචාර්ය ඇන්ටන් හෙට්ටිආරච්චිගේ දොන් මෙසේ පැවසීය. ”ROBOFEST 2022 තරඟයේ සුවිශේෂී ජයග්‍රාහකයින් මෙන්ම ඔවුන්ට හොඳ තරඟයක් ලබා දුන් සියලුම දක්ෂ තරඟකරුවන් ගැන අපි ආඩම්බර වෙනවා. SLIIT ආයතනයේ ශිෂ්‍ය සංවිධායකයින්, අනුග්‍රාහකයින්, උපදේශකයින් සහ ස්වේච්ඡා සේවකයන්ගේ නොමඳ සහයෝගය නිසා මෙම තරඟය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණා.”

SLIIT හි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය සහ අංශ ප්‍රධානී ආචාර්ය නිම්සිරි අභයසිංහ මහතා, ”අපට අපේ සමාජයට නවෝත්පාදකයින් අවශ්‍යයි. ROBOFEST 2022 හරහා අනාගතයේ ගැටළු විසඳීම හා සම්බන්ධයෙන් නායකයින්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරනවා. මෙම තරඟය මගින් ඔවුන්ව සංවර්ධනය කිරීමටත්, දක්ෂතාවයන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් වීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.

Visits: 45