හෙල ඇපරල් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් විදේශිකයන් දෙදෙනකු පත් කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ (HELA.N0000) අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නව සාමාජිකයන් දෙදෙනකු පත් කරගත් බව එම සමාගම නිවේදනය කරයි. 2022 ඔක්තෝබර් 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ.

ඒ අනුව ෂ්ලොමෝ ඩොරොන් සහ ෂෙසාන් ඛාන් යන දෙපළ මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර තිබේ. මෙහිදී ඔවුන් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇතැයි හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතරින් ෂ්ලොමෝ ඩොරොන් මහතා සමාගමේ විගණන කමිටු සාමාජිකයෙකු ලෙසද පත් කර තිබේ. ඔහු ජාත්‍යන්තර ඇගලුම් කර්මාන්තයේ නම් දැරූ පුද්ගලයෙකු වන බවත්, මෙම ව්‍යාපාරයේ විවිධ තනතුරු දරමින් නායකත්වය පිළිබඳව වඩාත් පුළුල් අත්දැකීම් සහිත අයෙකු බවත් සමාගම පවසයි. මීට පෙර ඒ මහතා ඩෙල්ටා ගාලිල් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. එසේම 2020 වසරේ සිට ඒ මහතා හෙල සමූහයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර, ඊට පෙර ඒ මහතා බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

එසේම ෂෙසාන් ඛාන් මහතා ලන්ඩනයේ සහ සූරිච් හි පිහිටි රිආන්ටා කැපිටල් සමාගමේ ආයෝජන කළමනාකරු ලෙස කටයුතු කර ඇති එම ක්ෂේත්‍රයේ වඩාත් අත්දැකීම් බහුල පුද්ගලයෙකු බව හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි. එසේම ඒ මහතා සතුව විලාසිතා/ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් පවතින බවත් සඳහන් වෙයි. ඔහු ස්විස්ටර්ලන්තයේ Fribourg විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව උසස් උපාධි ධාරියෙකු බවත් පැවසෙයි.

පසුගිය අගෝස්තු මාසයේදී එළිදැක්වුණු හෙල ඇපරල් සමාගමේ 2021/22 වසර සඳහා වන මූල්‍ය වාර්තාවට අනුව දැනටමත් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත විදේශිකයන් දෙදෙනකු පත් කරගෙන තිබේ. ඒ අනුව මෙම නව පත් කිරීම් සමගින් එම සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ යයි.

මෙම මූල්‍ය වාර්තාවට අනුව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ ආර්.ආර් රාසයියාහ් (සභාපති, විධායක නොවන අධ්‍යක්ෂ), ඩිලංක ජිනදාස (සමූහ ප්‍රධාන විධායක සහ විධායක අධ්‍යක්ෂ) ඇල්ස්ටෙයාර් ඇල්ඩෙර්ටන් (විධායක නොවන අධ්‍යක්ෂ), ගයාන් ගුණවර්ධන (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), අරෝෂි නානායක්කාර (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා), ට්‍රීෂා පීරිස් (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා) සහ පැට්‍රික් ෂෙයිෆර් (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

අද වනවිට මෙරට තුළ පමණක් නොවන ලොව රටවල් රැසක් වෙතම සිය ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සමත්ව ඇති අතර, එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව සිටින ඩොලර් ඉපැයිම් සිදුකරන ප්‍රධාන පෙළේ සමාගම් අතරින් එකකි.

Visits: 174