අල්ලිරාජා සුබාස්කරන් නිපදවූ ”‍පොන්නියන් සෙල්වන්” අද (30දා) සිට EAP සිනමාහල් ඔස්සේ

බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකු වන අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ලද, දමිළ ඓතිහාසික ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටය වන “පොන්නියන් සෙල්වන්” (Ponniyin Selvan), 2022 සැප්තැම්බර් 30 වැනිදා (අද) සිට ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.

කල්කි ක්‍රිෂ්ණමූති විසින් වර්ෂ 1955 දී රචිත නවකතාවේ චිත්‍රපට අනුවර්තනය ලෙස, එම නමින්ම විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන මනි රත්නම් විසින් “පොන්නියන් සෙල්වන්” අධ්‍යක්ෂණය කරන ලදී.

මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන්නේ, වික්‍රම්, ඓශ්වර්යා රායි බච්චන්, ජයම් රවී, කාර්ති, ප්‍රභූ, ආර් සරත්කුමාර් ඇතුළු කොලිවුඩ් හා බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිළි කැළයි. ශ්‍රී ලංකාවේ රංගන ශිල්පී ෂාම් ප්‍රනාන්දුගේ කොලිවුඩ් ආගමනයද “පොන්නියන් සෙල්වන්” චිත්‍රපටය හරහා සිදුවීම විශේෂත්වයකි. මෙම දැවැන්ත නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ඇකඩමි සම්මානලාභී ඒ ආර් රහ්මාන්ය.

මනි රත්නම් ඔහුගේ “සිහින ව්‍යාපෘතිය” ලෙස නම් කළ මෙම චිත්‍රපටය, වර්ෂ 2019 දී දලුලා වැඩෙමින්, දැවැන්ත නිර්මාණයක් දක්වා පෝෂණය ලැබුවේ සුබාස්කරන් මහතාගේ ලයිකා නිෂ්පාදනයක් (Lyca Productions) ලෙස ඊට අරමුදල් සැපයීම සමගිනි.

“පොන්නියන් සෙල්වන්” චීත්‍රපටය මේ වනවිටත් මාධ්‍ය, රසිකයන් සහ විචාරකයන් විසින් “2022 වඩාත්ම අපේක්ෂිත හා ආදායම් වාර්තා බිඳ හෙළන දමිළ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක්” ලෙස මහත් ඉහළින් හඳුන්වනු ලැබේ.

“පොන්නියන් සෙල්වන්”, ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් සඳහා වැදගත් වන්නේ, එය පසුකාලීනව මහා චෝල අධිරාජ්‍යයා වූ පළමු වැනි රාජරාජ චෝල (ක්‍රි.ව. 947 – ක්‍රි.ව. 1014) බවට පත්වූ, අරුල්මොශිවර්මන්ගේ මුල් යුගයේ ඓතිහාසික කතා ප්‍රවෘත්තිය ඇසුරෙන් නිර්මාණය වූවක් බැවිනි.

ශ්‍රී ලංකාව ක්‍රිස්තු වර්ෂ 993 සිට 1070 දක්වා චෝල අධිරාජ්‍යයේ පාලනයට නතුවූ අතර, නවකතාවේ රචකයා වන ක්‍රිෂ්ණමූර්ති සිය ග්‍රන්ථය සඳහා අවශ්‍ය තොරතුරු හා මූලාශ්‍ර රැස් කිරීම සඳහා කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණි බව කියනු ලැබේ.

වර්තමානයේදී පවා මෙම නවකතාව හදවතින්ම වැලඳගෙන ඒ වටා රොක්වූ සෑම පරම්පරාවකටම අයත් රසික පිරිසක් ඇත. එහිදී, මෙම ග්‍රන්ථය අඛණ්ඩව පාඨකයන්ගේ අගය කිරීමටත්, විචාරකයන්ගේ පැසසුමටත් ලක්ව ඇත්තේ, එහි අඛණ්ඩව ගලායන අනර්ඝ කතා වස්තුව, විචිත්‍රවත් ආඛ්‍යානය සහ චෝල අධිරාජ්‍යයේ බල අරගලය සහ කුමන්ත්‍රණ මනාව නිරූපණය කර ඇති ආකාරය හේතුවෙනි.

චිත්‍රපටයේ නිෂ්පාදක අල්ලිරාජා සුබාස්කරන් මහතා, මෑත වසරවල “ටූ පොයින්ට් සීරෝ” (2.0), ” ”ටි්‍රපල් ආර්” (RRR), “ඩොන්” (Don), “සීතා රාමම්” (Sita Ramam), “පුෂ්පා” (Pushpa), “දර්බර්” (Darbar) සහ “කාත්තී” (Kaththi) ඇතුළුව වඩාත් කැපී පෙනෙන දමිළ බොක්ස් ඔෆිස් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළ ලයිකා නිෂ්පාදන සමාගම (Lyca Productions) ආරම්භ කළ ගෞරවනීය බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකි.

සුභාස්කරන් මහතා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා “ජැෆ්නා කිංග්ස්” හි හිමිකරු ලෙසක කටයුතු කරන අතර, වර්ෂ 2011 දී “වසරේ ජාත්‍යන්තර ව්‍යවසායකයා” සම්මානය ඇතුළුව ඔහුගේ ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන සහ ඇගයීම් රැසක් දිනාගෙන ඇත.

“පොන්නියන් සෙල්වන්” චිත්‍රපටය Lyca Productions Lanka විසින් ශ්‍රී ලංකාවට රැගෙන විත්, EAP සිනමාහල් ජාලය විසින් බෙදා හරිනු ලැබේ. එය සැවෝයි (Savoy) ඇතුළු දිවයින පුරා සියලුම EAP සිනමාහල්වල, එනම් 75කට අධික සිනමාහල්වලදී ප්‍රදර්ශනය කිරීම සැප්තැම්බර් 30 වැනිදා සිට ඇරඹෙයි.

Visits: 154