ලංකෙම් සමාගම Waverly Power ජල විදුලි සමාගමේ සිදු කළ සමස්ත ආයෝජනය ඉවත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකෙම් සිලෝන් පීඑල්සී (LCEY.N0000) සහ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී (LDEV.N0000) යන සමාගම් සිය පරිපාලිත සමාගමක් වන Waverly Power නම් ජල විදුලි උත්පාදන සමාගම තුළ සිදු කර තිබූ සිය ආයෝජනය සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට තීරණය කළ බව පවසයි.

ඊයේ (සැප්තැම්බර් 30) දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආයෝජනයෙන් ඉවත් වන බව ලංකෙම් සිලෝන් පීඑල්සී සහ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගම් ලිපි මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම Waverly Power (පෞද්) සමාගම තුළ ආයෝජනය කර තිබූ කොටස් 3,400,000ක් මෙලෙස අලෙවි කර තිබේ. මෙය එම සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 43.59෴ක ප්‍රතිශතයකි.

මෙහිදී එම කොටස් හිමිකාරීත්වය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි සබැඳි සමාගමක් වන ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම සතුව තිබී ඇති අතර, අත්හැර දැමුණූ එම කොටස්වල වටිනාකම රුපියල් 189,179,438ක් බවත් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම එම සමාගමේ මූලික සහ සබැඳි ව්‍යාපාරික අංශය වන කෘෂිරසායනික, කාර්මික රසායනික සහ තීන්ත යන අංශ වෙත වැඩි අවධානයක් යොමු කිරීමේ උපායමාර්ගික තීරණයකට අනුව මෙම පියවර ගත් බවත් ලංකෙම් සිලෝන් සඳහන් කර සිටියි.

මේ අතර, ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගම ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම හරහා මිලදී ගෙන තිබූ Waverly Power (පෞද්) සමාගමේ කොටස් 4,400,000ක්ද මෙහිදී අලෙවි කර තිබේ. මෙය එම සමාගමේ සමස්ත කොටස් අතරින් 56.41෴ක ප්‍රතිශතයකි. මෙහිදී රුපියල් 244,820,450කට මෙම කොටස් අලෙවිය සිදු කර තිබේ.

මෙම අලෙවිය හරහා ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සීහි ශේෂපත්‍රය යළි සකස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත්, ඒහරහා සමාගමේ වර්තමාන ණයබරතාව තවදුරටත් දියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් සමාගම පවසයි. එසේම සබැඳි පාර්ශ්වය හරහා ලබා ගෙන ඇති ණය සමතයකට පත් කිරීම හරහා මූල්‍යපිරිවැය අඩු කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයිද සමාගම විශ්වාස කරයි.

ඒ අනුව ලංකෙම් සිලෝන් පීඑල්සි සහ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී විසින් අලෙවි කළ සමස්ත කොටස්වල වටිනාකම රුපියල් 433,999,888 කි.

මේ අතර ලංකෙම් සිලෝන් සහ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සීහි සබැඳි සමාගමක් වන ආගරපතන ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය වැවිලි කර්මාන්තය තුළ පවතින පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සම්බන්ධ සියලුම හැකියාවන් පිළිබඳව උපායමාර්ගිකව අවධානය යොමු කර තිබෙන බවත් පවසයි. එහිදී මූලිකවම ජල විදුලි සහ සූර්ය විදුලි බල අවස්ථාවන් වෙත අවධානය යොමු කර තිබෙන බවත් සඳහන් කරයි.

Visits: 244