කොමර්ෂල් බැංකුව යළිත් LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි බැංකු අතර පළමු තැනට

නවතම ‘LMD 100’ සංස්කරණයෙහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට කොමර්ෂල් බැංකුව නැවත වරක් පත් වී ඇති අතර ශී‍්‍ර ලංකාවේ Fortune 500 අනුවාදය ලෙස සැලකෙන මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම සමාගම් 10 අතර සිටින එකම බැංකුව ද වේ.

වසර 29 කට පෙර මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට සෑම වසරකදීම ඉහළම ආයතනික දැවැන්තයින් 10 දෙනා අතර කොමර්ෂල් බැංකුව රැදී සිටින අතර 2021-22 සඳහා වැඩිම ආදායමක් සහ ලාභයක් ඉපැයූ බැංකුව ලෙස ද තහවුරු වී ඇත.

ශී‍්‍ර ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආදායම අනුව සමස්ත LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි හත්වන ස්ථානයට සහ ලාභය අනුව හයවන ස්ථානයට ද නම් කර ඇත.

කොමර්ෂල් බැංකුව LMD ශ්‍රේණිගත කිරීම් වල අඛණ්ඩව ඉහළින්ම සිටීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වූවේය. ”පාරිභෝගිකයින් සහ ආයෝජකයින් බැංකුවක නොසැලෙන ශක්තියක් හා ස්ථාවරත්වයක් අපේක්ෂා කරන අතර අභියෝගකාරී තත්වයන් සහ විවිධ වෙනස්වීම් වලදී ද විශේෂයෙන් ඔවුන් එය බලාපොරොත්තු වේ. කොමර්ෂල් බැංකුව මේ සම්බන්ධයෙන් ආදර්ශමත් වන අතර දශක තුනකට ආසන්න කාලයක් විවිධාංගිකරණය වූ දිවයිනේ විශාලතම සමූහ ව්‍යාපාර අතරට එක්වෙමින් ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම LMD 100 හි බැංකු අංශය පෙරමුණ ගෙන සිටී.”

LMD හි නවතම ශ්‍රේණිගත කිරීම මෙරට මුල්පෙළේ සමූහ ව්‍යාපාර, විදුලි සංදේශ ආයතන, මහා පරිමාණ අලෙවිසැල් ජාල, රක්ෂණ සමාගම් ඇතුළු බොහෝ ආයතන ආවරණය කර ඇත.

Visits: 80