අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 5.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම (ABAN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5.00ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ඔක්තෝබර් 20 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 29 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී කොටසකට රුපියල් 3.00ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය. එය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම විය. එසේම 2020 වසරේ අගෝස්තු මාසයේදී සමාගම කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවා තිබේ.

අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 2,453,067ක් එනම් 48%ක හිමිකමක් ඇත්තේ අබාන්ස් පීඑල්සී සමාගමටයි. එසේම එහි මහජන කොටස් හිමිකාරීත්වය නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින්  42.29%ක ප්‍රතිශතයකි.

Visits: 46