2022 ජූලි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2.25%කින් ඉහළට

මේ වසරේ ජූලි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉපැයීම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,128.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කරන ලද දත්ත අනුව අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කරුණු අනාවරණය කර සිටියි.

ඒ අනුව මෙය පෙර වසරේ ජූලි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,103.9ක ආදායමට සාපේක්ෂව 2.25%ක වර්ධනයකි. මෙහිදී අපනයන ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම හේතු වී තිබේ. එය ඩොලර් මිලියන 550.05ක ආදායමකි.

එසේම තේ, මැණික් සහ ස්වර්ණාභරණ යනාදියේ ආදායම් ඉහළ ගොස් තිබේ. එහෙත් රබර් සහ පොල්, මුහුදු ආහාර, කුළුබඩු, විසිතුරු මසුන් සහ එළවළු අපනයනයේ ආදායම් පහළ වැටී තිබේ.

මේ අතර 2022 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මුල් මාස 7ක කාලය තුළදී මෙරට සමස්ත භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,604.12ක් වන අතර, එය 2021 වසරේ මුල් මාස 7ක කාලයේදී රැස් කරගත් භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 5,497.70ට සාපේක්ෂව 11.8%ක වර්ධනයකි.

මීට අමතරව 2022 ජනවාරි-ජූලි කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,146 ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 5.39 % කින් වැඩි වීමකි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කරන ලද සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා / ප්‍රවාහන සහ සැපයුම් සේවා වලින් සමන්විත වෙයි.

Visits: 99