තරුණ දක්ෂයන් ආකර්ෂණයට සිංගප්පූරුව සිය වීසා නීති යළි සකසයි

සිංගප්පූරුව වෙත දක්ෂතා සපිරි තරුණයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් එරට රැකියා වීසා නීති යළි සකස් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. එරට මිනිස් බල පිළිබඳ අමාත්‍යාංශය පසුගිය සඳුදා මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙහිදී මාසයකට අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 30,000ක (එක්සත් ජනපද ඩොලර් 21,431ක/ආසන්න වශයෙන් රුපියල් 78 ලක්ෂයක) වැටුපක් ලබන විදේශිකයන් සඳහා වසර පහක රැකියා අවසරපත්‍රයක් ලබාදීමත්, සේවා ස්ථාන කිහිපයකම සේවය කිරීමේ අවස්ථාව ලබාදීමත්, ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා සිංගප්පූරුව තුළ තාවකාලික රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාවක් ලබාදීමත් මෙහිදී සිදු කරන බව අමාත්‍යාංශය පවසයි.

එසේම මෙම අවශ්‍ය වැටුප් ප්‍රමාණය නොලබන එහෙත් ක්‍රීඩා, කලා, විද්‍යා සහ වෙනත් ශාස්ත්‍රීය දක්ෂතා සහිත පිරිස් වෙතත් මෙම දිගුකාලීන වීසා පහසුකම හිමි කරගැනීමේ අවස්ථාව හිමි වන බව සඳහන් වෙයි.

මෙම දිගුකාලීන වීසා වැඩසටහන Overseas Network and Expertise (ONE) ලෙස හඳුන්වාදී තිබේ. එය ලබන 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සිංගප්පූරුවේ මිනිස්බල අමාත්‍ය ටාන් සී ලෙන්ග්, “ව්‍යාපාරිකයන් සහ දක්ෂතා සහිත තරුණ පිරිස යන දෙපිරිසම සිය ආයෝජන සඳහා, ජීවත්වීම සඳහා සහ රැකියා කිරීම සඳහා වඩාත් සුරක්ෂිත සහ ස්ථාවර ස්ථාන සොයමිනුයි ඉන්නේ. සිංගප්පූරුව කියන්නේ එවැනි තැනක්. මේ හරහා සිංගප්පූරුව ස්ථිරවම ලොව දක්ෂතාවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට අපිට හැකිවේවි.” යනුවෙන් පවසා තිබේ.

විශේෂයෙන්ම හොංකොං වැනි කලාපය තුළ ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපාරික මධ්‍යස්ථාන වෙත තරගයක් ලබාදීම සිංගප්පූරුව ගත් මෙම තීරණයේ අදහස වී තිබේ.

Visits: 131