SLT සමූහය 2022 ප්‍රථම අර්ධයේදී රු. බිලියන 52.9ක ආදායමක් වාර්තා කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇතැයි පවසයි.

ඒ අනුව පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6% කින් වර්ධනය වී රු. බිලියන 52.9 ක් ලෙස සටහන් වන අතර, බදු-පෙර ලාභය 19.8% කින් වර්ධනය වී රු. බිලියන 7.2 ක් ලෙස වාර්තා වේ.

රට තුළ පවතින අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා සාර්ථක ලෙස අභියෝග වලට මුහුණ දීමට SLT සමූහයේ ව්‍යාපාර ආකෘතියට හැකියාව ඇති බවට මෙය මනා සාක්ෂියක් බව සමූහය පවසයි.

මෙහෙයුම් කාර්යක්ෂමතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් SLT සමූහයේ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 2022 ප්‍රථම අර්ධය තුළ රු. බිලියන 20.9 දක්වා වර්ධනය වී තිබේ. මෙය පෙර වසරේ තත් කාලසීමාවට සාපේක්ෂව 7.8%ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ EBITDA ආන්තිකය 39.7% ක් ලෙස වාර්තා වේ.

පෙර කාර්තුවේ වාර්තා කළ සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගනිමින්, 2022 වසරේ දෙවැනි කාර්තුව තුළ පෙර කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය 4%කින් වර්ධනය කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ දූරදර්ශී විදේශ විනිමය ක්‍රමෝපාය නිසා, කාර්තුව තුළ රු. මිලියන 135ක විදේශ විනිමය ලාභයක් වාර්තා කරගැනීමට හැකියාව ලැබිණි. එනමුත්, ප්‍රධාන වශයෙන් ආදායම් බදු වියදම් ඉහළ යාම හේතුවෙන්, දෙවැනි කාර්තුව තුළ බදු පසු ලාභය 26.5%කින් පෙර කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇත.

වර්ෂය ආරම්භයේදී ක්‍රියාවට නැංවූ ක්‍රමෝපායික සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, දෙවැනි කාර්තුවේදී ද තම ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරගැනීමට SLT සමූහය සමත් විය. කෙසේ නමුත්, අප්‍රේල් සිට ජූනි දක්වා කාලසීමාවේදී පෙර නොවූ විරූ මට්ටමේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය, ආනයන සීමා සහ උද්ධමනකාරී පීඩනය වැනි, ව්‍යාපාර කටයුතු වල වර්ධනය අඩපණ කරන අභියෝග රාශියකට මුහුණ දීමට සමූහයට සිදු විය.

මෙයට අමතරව, ආයෝජන වලට බලපෑම් එල්ල වීම, මෙහෙයුම් වියදම් ඉහළ යාම නිසා නව ව්‍යපෘතිවලට බාධා සිදු වීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙහෙයුම් කටයුතු සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සිදු වීම ආදී ගැටලු ද පැනනැගිණි. කෙසේ වුවද අනපේක්ෂිත තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ක්‍රමෝපායික ආයෝජන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් අත්කර ගනිමින්, නිසි කළමනාකරණ පාලන විධික්‍රම ක්‍රියාවට නංවමින්, එල්ල වූ අභියෝග ජයගැනීමටත්, ආංශික ආදායම් මාර්ග මනාව කළමනාකරණය කරගැනීමටත් සමූහය සමත් විය.

සමූහයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය පෙර වසරට සාපේක්ෂව 21.2% කින් වර්ධනය වී, රු. බිලියන 23.5 ක් ලෙස වාර්තා වී තිබේ. සමාලෝචිත කාලසීමාව අවසානයේදී රු. බිලියන 27 ක, මුදල් සහ මුදල් වලට සමාන වටිනාකම් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ලාභාංශ ද ඇතුළුව සෘජු සහ වක්‍ර බදු වශයෙන් SLT සමූහය 2022 ප්‍රථම අර්ධ වර්ෂය තුළදී රු. බිලියන 14 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා තිබේ.

SLT සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, “සමාලෝචිත කාලසීමාව, දුෂ්කර මෙහෙයුම් වාතාවරණය හේතුවෙන් මෑත ඉතිහාසයේ SLT-MOBITEL මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාලසීමාවන්ගෙන් එකක්. කෙසේ නමුත්, වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, සාමූහික උත්සාහයන් දිරිමත් කිරීමටත් අපගේ ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව නිසා, යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමට අපට හැකි වුණා. 2021 වසරේදී සෑම අතින්ම අප අත්දකිමින් සිටි දැවැන්ත පරිවර්තනය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා. අපගේ වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස අප විශ්වාස කරන, උසස් තාක්ෂණයෙන් යුත් සේවා එකතුව සහ ඩිජිටල් අවකාශය තුළ අප දරන උත්සාහයන්, අනාගත වර්ධනය සඳහාද පිටුබලය සපයමින්, ඉදිරි කාර්තු වලදී අපගේ ආදායම ඉහළ නංවනු ඇති බවට සැකයක් නැහැ.” යැයි ප්‍රකාශ කළේය.

SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින්, “මෙම කාර්තුවේ ප්‍රතිඵලවලින් පිළිබිඹු වන්නේ අපගේ ව්‍යාපාර කටයුතු සහ වෙළඳපළ හැඩගස්වා ගැනීමට සහ තිරසාරව පවත්වාගෙන යාමට නිර්භීත පියවර ගනිමින් අපගේ උපායමාර්ගික සැලසුම් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට අප සමත් වූ ආකාරයයි. ව්‍යාපාරික පරිසරයට බලපෑම් කරන විවිධ සාර්ව ආර්ථික සාධක තිබියදී පවා අප යහපත් දෘෂ්ටියකින් අනාගතය දෙස විශ්වාසයෙන් බලා සිටිනවා. රටේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් අපගේ ප්‍රයත්න මෙහෙයවමින්, 2022 වසරේ ඉදිරි අර්ධ වර්ෂය තුළදී ආයෝජන තවදුරටත් පුළුල් කරමින්, අපගේ දේශීය හා ජාත්‍යන්තර ආවරණ පරාසය මෙන්ම ජාල සහ පද්ධති තවදුරටත් වැඩිදියුණු කරගැනීම අපගේ අරමුණයි.” යනුවෙන් පැවසුවේය.

සමූහයේ පාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT), පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 2022 ප්‍රථම අර්ධයේදී 12.4%ක සුවිශේෂී ආදායම් වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. සමාගමේ EBITDA ආදායම පෙර වසරට සාපේක්ෂව 10.2% කින් වර්ධනය වී, රු. බිලියන 11.8 ක් ලෙස වාර්තා වී තිබේ.

Visits: 92