බිස්කට් ඇතුළු රසකැවිලි මිල ඉහළ යාම ගැන නිෂ්පාදකයන් කරුණු පහදයි

වර්තමානයේදී වෙළෙඳ පොළ තුළ බිස්කට් ඇතුළු රසකැවිලි මිල ගණන් ඉහළයාමට මූලිකම හේතුව අමුද්‍රව්‍යවල මිල ඉහළයාම බව ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. ඊයේ දිනයේදී එම සංගමය මගින් කැඳවූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි එම සංගමයේ සභාපති එස්.ඩී. සූරියකුමාර් මහතා, මෙම රසකැවිලි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් 200%කින් ඉහළ ගොස් ඇතැයි පවසා සිටියි.

“මේ බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍යයක් වන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 77 සිට 290ක් දක්වා රුපියල් 277කින් ඉහළ නැග තිබෙනවා. ඒ වගේම සීනි කිලෝවක මිල රුපියල් 114 ඉදන් 320ක් දක්වා 180%කින් ඉහළ නැගලා. ඒ වගේම ශාකමය තෙල් මිල ගණන් රුපියල් 475 සිට 1400ක් බවට පත්වෙලා. ඒ කොහොම නමුත් අපි මෙතැනදී බිස්කට් මිල ගණන් ඉහළ නංවලා තිබෙන්නේ රුපියල් 100 ඉදන් රුපියල් 271ක් දක්වා 171%කින් පමණයි.” යනුවෙන් එම සංගමය මෙහිදී සඳහන් කර සිටියි.

මේ තත්ත්වයත් සමගින්ම අද වනවිට සමාජය තුළ බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිලදී ගැනීම වළක්වමින් ඇතැම් පිරිස් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින බවත්, එය කිසි ලෙසකින්වත් සාධාරණ තත්ත්වයක් නොවන බවත් එම සංගමය පෙන්වා  දෙයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට අද වනවිට මෙම නිෂ්පාදන ආයතන දේශීය වෙළෙඳපොළට මෙන්ම අපනයනය සඳහාද නිෂ්පාදන සිදු කරන අතර, එහිදී එම සංගමයේ සාමාජික සමාගම් රටවල් 50කටත් වඩා වැඩි පිරිසකට නිෂ්පාදන අපනයනය කරන බවත් පවසයි. ඒ හරහා මෙරට ආර්ථිකය වෙත දක්වන දායකත්වය ඩොලර් මිලියන 150කට අධික වෙයි.

“මෙම රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා වැසුණොත් ඉන් ඍජු රැකියා 50,000ක් වගේම වක්‍ර රැකියා 500,000ක් අහිමිවීමේ අවදානමක් තිබෙනවා.මෙතැනදී සේවකයන් පමණක් නෙමෙයි ඔවුන්ගෙන් යැපෙන්නන් පවා දැඩි අර්බුදයට පත්වේවි.” යනුවෙන් සංගමය පවසයි.

එසේම අද වනවිට ගොවීන් 20,000කට අධික පිරිසක් සිය රසකැවිලි නිෂ්පාදකයන් සමගින් ඍජු සබඳතා පවත්වමින් සිය නිෂ්පාදන සැපයීම සිදු කරන බවත්, කර්මාන්තය වෙත යම් බලපෑමක් වුවහොත් ඔවුන්ටද එය බලපානා බවත් සංගමය පෙන්වා දී තිබේ. මීට අමතරව රට පුරා පවතින 150,000කට අධික සිල්ලර වෙළෙඳ සැල්හි ආදායමෙන් 25%ත් 30%ත් අතර ප්‍රතිශතයක් මෙම රසකැවිලි නිෂ්පාදන හරහා ලැබෙන බවත්, ඔවුන් සඳහන්කරයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් සිය කර්මාන්තය විනාශ කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්,  එම තත්ත්වය මඟහරවමින් කර්මාන්තය කඩාවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජනපතිවරයා, අගමැතිවරයා මෙන්ම ඊට සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්ගෙන්ද ඉල්ලා සිටින බවත් සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 174