රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව දේශීයව නිපදවූ ඖෂධ තුනක් වෙළෙඳ පොළට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) මගින් දේශීයව නිෂ්පාදනය කෙරුණු නව ඖෂධ තුනක් වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවක් අද දිනයේදී රත්මලානේ පිහිටි එම සංස්ථා පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ අනුව මෙහිදී  තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin 50mcg, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole 20 mg කරල් සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid 50 mg යන ඖෂධ පෙති විවෘත වෙළෙඳ පොළට නිකුත් කිරීම මෙහිදී නිලවශයෙන් සිදුවිය.

මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා පෞද්ගලික අංශයට නිකුත් කෙරෙන අතර මෙය මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ ජයග්‍රහණයක් බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පෙන්වා දෙයි.

මෙහිදී අදහස් දක්වා සිටි අමාත්‍යවරයා, මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40% ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත්, ඉන් 20% ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇතැයි පෙන්වා දුන්නේය.

ඒ අනුව ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් මේ හරහා ඉතිරි කර කර ගැනීමට හැකි වනු ඇතැයි ද, පවතින ඩොලර් අර්බුදයට මෙමගින් ඉහළ විසඳුමක් අපේක්ෂා කරන්නේයැයිද අමාත්‍යවරයා පැවසීය.‍

මේ අතර, මෙරට ඖෂධ නිෂ්පාදනයේ පවතින ගැටලු මෙන්ම ඒ ඉලක්කගත වැඩපිළිවෙළ පිළිබඳව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. එම අඩුපාඩු කඩිනමින් විසඳා ගනිමින් රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයේ නිසි ඉලක්ක සපුරා ගැනීම සඳහා වඩා අවධානය යොමු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදුව ඇත.

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා රජය ප්‍රමුඛව අවධානයක් යොමු කර ඇතැයිද ඉදිරි ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වනවිටත් වැඩපිළිවෙළ රැසක් ගනු ලබමින් සිටිනනේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

රජයේ රෝහල්වල සායනික හා බාහිර රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ මේ වන විට විශාල වශයෙන් දේශීයව නිෂ්පාදනය කරන බවත් එය තවදුරටත් ඉහළ නංවමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා මෙහිදී අදහස් දක්වමින්, මේ වන විට මෙරටට වසරකට අවශ්‍ය ඖෂධ වලින් පෙති හා කරල් මිලියන 3040 ක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන බවත් ඒවා විශේෂයෙන් රජයේ රෝහල් හරහා රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

ඉදිරියේදී තවත් ඖෂධ 50ක් පමණ දේශීය නිෂ්පාදනය කිරීමට ඉලක්ක ගත කරන බවද මේ වන විට එහි කටයුතු බොහොමයක් පර්යේෂණ මට්ටමේ පවතින බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ දිනවල බහුලව භාවිතා කරන ඖෂධ රැසක් ද එහි ඇති බව පෙන්වා දුන් වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා එම ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබාදීමට ඉලක්ක කරන බවද කීය.

මෙරටදී ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ගෙන්වීම සඳහා රජය දැඩි අවධානයක් යොමු කරනු ඇතැයිද හෙතෙම පැවැසීය. විශේෂයෙන් දියවැඩියාව, වලිප්පුව, අධි රුධිරපීඩනය හා සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සඳහා අවශ්‍ය ඖෂධ අඛණ්ඩව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් කීය.

Visits: 89