සෙරෙන්ඩිබ් හොටේල්ස් වෙතින් රු.බිලියන 2ක හිමිකම් කොටස් නිකුතුවක්

බ්‍රවුන්ස් සමූහයට අයත් සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගම (SHOT.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගිය අගෝස්තු 12 වැනිදා රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව අවසන් තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා තවත් අලුතින් කොටස් 226,544,214ක් සහ නිෂ්ඡන්ද කොටස් සඳහා තවත් අලුතින් කොටස් 108,033,168ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ.

මෙය දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම තවත් අලුතින් ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් 3ක් බැගින් හිමිවන අනුපාතයට සිදුකෙරෙන හිමිකම් කොටස් නිකුතුවක් බව සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 7.00ක් ලෙස මිල කෙරී ඇති අතර, එම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.56ක් (1,585,809,498ක්) වෙයි. එසේම නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 4.00ක් ලෙස මිල කෙරී ඇති අතර, එම නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 432ක් (432,132,672ක්) වෙයි.

ඒ අනුව මෙම හිමිකම් කොටස් නිකුතුවේ සමස්ත වටිනාකම  රුපියල් බිලියන 2.0ක් (2,017,942,170ක්) ලෙස සටහන්ව ඇත.

සිය සමාගම වෙත නැවුම් ප්‍රාග්ධනයක් රැස් කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කරන බව සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගම පවසයි. වර්තමානයේදී සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 913ක් (913,121,694ක්) වෙයි.

ඒ අනුව මෙම හිමිකම් නිකුතුව සඳහා හිමිවන පූර්ණ දායකත්වයෙන් අනතුරුව සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.9ක් (2,931,063,864ක්) දක්වා ඉහළ යයි. ඒ අතරින් මිලියන 730ක් නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන්ගේවටිනාකම් බවත් සඳහන් වෙයි.

මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් හරහා අන්තර්-ආයතන ණය මිලදී ගැනීම් සමතයටපත් කිරීම අරමුණ බව පවසයි.

ඒ අනුව සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගම් වන ඩොල්ෆින් හොටේල්ස් පීඑල්සී සහ හොටෙල් සීගිරිය පීඑල්සී යන අනෙකුත් ලැයිස්තුගත සමාගම් දෙක මගින් සිදුකළ හිමිකම් කොටස් නිකුතුවේදී කොටස් මිලදී ගැනීම සඳහා සිදු කළ ආයෝජන එහිදී ප්‍රධාන වෙයි.

එසේම සමාගමට අයත් අවානි හොටෙල්හිදී සිදුකළ ආසන්නතම අලුත්වැඩියා කිරීමේ පිරිවැය සඳහා ගෙවීමත් මෙම රැස් කරගන්නා මුදලින් සිදු කරන බව සමාගම පවසයි.

මීට අමතරව සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීමද මෙම රැස් කරගන්නා මුදල් හරහා සිදු කරගැනීම අපේක්ෂාවවී තිබේ.

කෙසේ වෙතත් මෙම හිමිකම් කොටස් නිකුතු යෝජනාව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවියයුතුව ඇත.

හේමාස් සමූහයට අයත්ව තිබූ සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් මාසයේදී බ්‍රවුන්ස් හොටේල්ස් සමාගම මගින් මිලදී ගැනීම සිදුවිය. එහි පරිපාලිත සමාගම් වන ඩොල්ෆින් හොටේල්ස් පීඑල්සී සහ හොටෙල් සීගිරිය පීඑල්සී සමාගම්හි හිමිකම් කොටස් නිකුතුව 2022 වසරේදී සිදු විය.

Visits: 168