නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පී. ඒ. ජයකාන්ත මහතා වැඩ අරඹයි

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වූ පී. ඒ. ජයකාන්ත මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී පසුගිය දා සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ වසර ගනනාවක් සේවය කරමින් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ඇති නව අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා, 2004 වසරේ දී ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරයෙකු ලෙසින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවයට එක්ව ඇත. ගුවන්සේවා ආරක්ෂක ක්ෂේත්‍රය නව මානයකට ගෙනයමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ගුවන්සේවා ආරක්ෂක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසත් පසුව අධ්‍යක්ෂ ලෙසත් උසස්වීම් ලැබූ ඒ මහතා අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන්සේවා ආරක්ෂක රෙගුලාසි) තනතුර දක්වා ද උසස්වීම් ලැබීමෙන් පසු වත්මන් තනතුරට පත්වන තෙක් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ ය.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් තෝරා පත්කරනු ලබන සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද 2010 වසරේ සිට කටයුතු කරන ඒ මහතා, මෙම විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයට පත්වූ ප්‍රථම සහ එකම ශ්‍රීලාංකිකයා ද වෙයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) මගින් සිය සාමාජික රටවල සිවිල් ගුවන්සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැත්වූ විගණන ගනනාවකට සම්බන්ධ වී ඇති මෙතුමා ඒ තුලින් ලබාගත් අත්දැකීම් හා සිය දැණුම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධි වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙමින් සිටී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ආරක්ෂක විගණනයන් හි තත්වය මෙන්ම ගුවන් නිරුපද්‍රිතතාවය ද ජාත්‍යන්තරය හමුවේ ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට නිබදවම අවකාශ ලැබී ඇත.

සිවිල් ගුවන්සේවා විෂය ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සමුළු හා වැඩමුළු ගනනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීම තුලින් මෙතුමා ලත් දැනුම ශ්‍රී ලංකාවේ ගුවන්සේවාවේ සංවර්ධනයට මහඟු පිටිවහලක් වෙයි.

2012 වසරේ දී ICAO සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ විගනනයේ දී කලාපීය හා ගෝලීය වශයෙන් ඉහළ ස්ථානයක් ලබා ගැනීමට මෙතුමා මූලික වූ අතර එම විගනනයේ ICAO සමගින් ජාතික සම්බන්ධීකාරක ලෙස ද මෙතුමා කටයුතු කරන ලදි.

මෙයට අමතරව කොවිඩ් 19 රෝග වසංගතය හමුවේ කාර්යමණ්ඩල වල සහ මගීන්ගේ ආරක්ෂිත බව තහවුරු කර ගුවන්තොටුපොළ ආරක්ෂක මෙහෙයුම් කටයුතු නිසි ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදෙමින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණීක උපාංග සහ මෙවලම් යෙදවීමටත්, ගුවන්යානා පැහැරගැනීම් අවස්ථාවලදි ප්‍රාණඇපකරුවන් මුදාගැනීම සඳහා වූ පුහුණු නිළධාරීන් කණ්ඩායමක් ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව සහතික කිරීමට ද පුරෝගාමීව කටයුතු කර ඇති අතර සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ද එතුමන් පුරෝගාමී මෙහෙවරක නිරතව ඇත.

Visits: 61