සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සභාපති ඉල්ලා අස්වෙයි

සොෆ්ට්ලොජික් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආරොන් රසල්-ඩේවිසන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම සමාගම පවසයි.

ඒ මහතා සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඒ අනුව 2022 ජූලි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සිදු වන බවත්, ඒ සඳහා වන අනුමැතියද ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන ආවේක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇතැයිද සමාගම පවසයි.

මේ අතර ආරොන් රසල් මහතා සභාපති දුරයෙන් ඉවත්ව යන අවස්ථාව වන විටදී ඒ මහතා සතුව සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරිත්වයක් නොතිබූ බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ආරොන් රසල් මහතා 2019 වසරේ ඔක්තෝබර් 24 වැනිදා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි සභාපතිවරයා ලෙස පත් කෙරිණි. එතෙක් සමාගමේ සභාපති ධුරය දැරූ අශෝක පතිරගේ මහතා පුරා වසර නවයක අධ්‍යක්ෂ මණ්ඩල ධුර කාලයක් දැරීමෙන් අනතුරුව ඉන් ඉවත්වීමෙන් පසුව හිස් වූ ධුරයට ආරොන් මහතා පත්විය.

ආරොන් මහතා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සභාපති ධුරයට පත්වන අවස්ථාව වන විට එම සමාගමේ උප සභාපතිවරයා මෙන්ම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පිඑල්සීහි සහ සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සීහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය.

Visits: 162