ඉන්දියාවේ 5G සංඛ්‍යාත වෙන්දේසිය අවසන් වෙයි – රුපියල් ට්‍රිලියන 1.5ක් වටිනා ලංසු හිමිවෙයි

ඉන්දියාව තුළ 5G තාක්ෂණික මෙහෙයුම් සඳහා වන සංඛ්‍යාත වෙන්දේසිය ඊයේ (01දා) දිනයේදී අවසන් විය. මේ සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සමාගම් රැසක්ම ලංසු ඉදිරිපත් කළ අතර, එහිදී ඉන්දියානු රුපියල් ට්‍රිලියන 1.5ක් (කෝටි 150,173ක්) වටිනා ලංසු ඉදිරිපත් වීමක් සිදුව තිබේ.

ඒ අනුව මෙය එතෙක් මෙතෙක් ඉන්දියාව තුළ දුරකතන සන්නිවේදන සංඛ්‍යාත වෙන්දේසියක් හරහා ඉන්දියානු රජය රැස් කරගත් වැඩිම ආදායම ලෙසින්ද සැලකෙයි. වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය වසරේදී පැවැති 4G සංඛ්‍යාත වෙන්දේසියේදී ඉන්දියානු රජයට හිමිව ඇත්තේ රුපියල් කෝටි 77,184කි. එසේම 2010 වසරේදී පැවැති 3G සංඛ්‍යාත වෙන්දේසියේදී ඉන්දියානු රජයට හිමි වූයේ රුපියල් කෝටි 50,938ක් පමණකි.

මෙම 5G සංඛ්‍යාත වෙන්දේසියේදී සමස්ත ලංසු වටිනාකමින් අඩකට ආසන්න වටිනාකමක් එනම් රුපියල් කෝටි 88,078ක ලංසු ඉදිරිපත් කර ඇත්තේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් Jio සමාගමයි. එසේම සුනිල් භාරතී මිත්තාල්ට අයත් Bharati Airtel සමාගම රුපියල් කෝටි 43,084ක ලංසු ඉදිරිපත් කර ඇත. මිට අමතරව Vodafone Idea සමාගමද රුපියල් කෝටි 18‍්,799ක ලංසු ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාවේ දුරකතන සන්නිවේදන අමාත්‍යවරයාට අනුව මෙම වෙන්දේසිය සඳහා සංඛ්‍යාත පරාස 10ක් පුරා විහිදුණු මෙගාහර්ට්ස් 72,098ක (72,098MHz) සංඛ්‍යාත ඉදිරිපත්ව තිබේ. ඉන් 71%ක ප්‍රතිශතයක් එනම් 51,236MHz ක් මෙහිදී අලෙවි වී තිබේ.

මෙම 5G තාක්ෂණය හරහා අධි-වේගවත් ජංගම දුරකතන අන්තර්ජාල සබඳතාවක් ලබාදීමේ අවස්ථාව පවතින අතර එය ඉන්දියානු ආර්ථිකය වෙත ඉහළ බලපෑමක් එල්ල කරනු ඇතැයි සඳහන් වෙයි. එසේම ඒ හරහා එරට දුරකතන සන්නිවේදන සමාගම් වෙත ඉහළ ප්‍රතිලාභ ළගා කරගැනීමට හැකියාව ලැබෙන බවත් විශ්වාසය වී තිබේ.

බොහෝ දුරට ලබන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාව තුළ මෙම 5G තාක්ෂණය දියත් කිරිමට අවස්ථාව හිමි වනු ඇතැයි ඉන්දියාවේ දුරකතන සන්නිවේදන අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

Visits: 172