ඩිලන්ත මාලගමුව ජපාන සමාගමක් හා එක්ව විදුලි මෝටර් රථයක දේශීය මූලාකෘතියක් නිෂ්පාදනයට සැරසෙයි

ජාත්‍යන්තර කීර්තිමත් මෝටර්රථ ධාවනශුර ඩිලන්ත මාලගමුව මහතා සම නිර්මාතෘවරයෙකු වන ඩිලන්ගෝ කාර්ස් පෞද්ගලික සමාගම, ජපානයේ මෝටර්රථ නිපැයුම් ආයතනයක අනුග්‍රාහකත්වය යටතේ ලාබදායි සකසුරුවම් විදුලි මෝටර් රථයක දේශීය මුලාකෘති නිෂ්පාදනයක් ඇරඹීමේ කටයුතු ආරම්භ කර තිබේ.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ පූර්ණ පහසුකම් යටතේ මෙම කටයුතු සිදු කිරීම සැලසුම වී ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව ඊට අදාළ එකඟතාවට අත්සන් තැබීම පසුගියදා එම මණ්ඩලයේදී සිදුව තිබේ.

මෙහිදී ඩලන්ගෝ පෞද්ගලික සමාගම වෙනුවෙන් ඩිලන්ත මාලගමුව මහතාද කාර්මික සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සුනිල් ගුණවර්ධන මහතාද මෙම එකඟතාවට අත්සන් තබා ඇත.

පසු ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් ලාබදායි සකසුරුවම් විදුලි මෝටර් රථයක දේශීය මුලාකෘති නිෂ්පාදනයක් සඳහා වන ගිවිසුමක් මෙහිදී අත්සන් තබා තිබේ. මෙම නිෂ්පාදනය කාර්මික සංවර්ධන මණ්ඩලීය පහසුකම් ඇතිව එම පරිශ්‍රයක සිදු කිරිම සැලසුම වී ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී.එල්.යු.රත්නමලල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන) වැඩබලන හා අධ්‍යක්ෂ ඉංජිනේරු කපිල නිශාන්ත මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව තිබේ.

කාර්මික සංවර්ධන මණ්ඩලය තුලදී සිදුකරනු ලබන මෙම මුලාකෘති නිෂ්පාදනය තුලින් මෝටර්රථ උපාංග දේශීය නිෂ්පාදක සැපයුම් ජාලය ගොඩනැංවීමත්, සකසුරුවම් විදුලි මෝටර් රථයක් ජාත්‍යන්තර සම්මත ක්‍රමවේදයන්ට අනුකුලව නිපදවා දේශීය මෝටර්රථ කර්මාන්තය දිරිගැන්වීමත් සිදු කළ හැකි බව එම මණ්ඩලයේ අදහස වී තිබේ.

එසේම අඛණ්ඩව නිෂ්පාදන ක්‍රියාවලියක් හදුන්වාදීමෙන් මෙම ව්‍යාපෘතිය හරහා ජාත්‍යන්තර වෙළඳපල අත්පත් කරගැනිමට හැකි වෙනු ඇතැයිද එමමණ්ඩලය විශ්වාසය පළ කරයි.

Visits: 121