අගෝස්තුවේදී අතුරු අයවැයක් – රජයේ ආදායම වැඩි කිරීමට 2019ට පෙර බදු ව්‍යුහය යළිත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය ලබන අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව වෙත අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

පසුගියදා ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළදී මෙම අතුරු අයවැය ඉදිරිපත් කිරීමේ සූදානම සම්බන්ධයෙන්ද කරුනු දක්වා තිබුණි. එසේම 2023 වසර සඳහා වන අයවැය මේ වසරේ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමත් සැලසුම වී තිබේ.

ඒ අනුව මෙම අතුරු අයවැය රාජ්‍ය පද්ධතිය යළිත් සකස් කිරීමේ මූලික පියවර වෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන බව අද දිනයේ පළ වුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

එහිදී 2022 විසර්ජන පනත් කෙටුම්පත සඳහා සංශෝධිත නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

විශේෂයෙන්ම වර්තමානයේදී පවතින ආහාර හිඟතාව සහ ජීවන වියදම ඉහළ යාම පාදක කරගනිමින් මුදල් අමාත්‍යාංශය මගින් මීට පෙර ඇස්තමේන්තු කර තිබූ සමස්ත වියදම වූ රුපියල් ට්‍රිලියන 3.6 වෙනුවට රුපියල් ට්‍රිලියන 4.6ක සංශෝධිත වියදම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමටද සූදානමින් සිටින බව පැවසෙයි.

ඒ අනුව මෙම නව අතුරු අයවැය හරහා 2022 අයවැය මගින් සියලුම රජයේ වියදම් සහ ආදායම් ඇස්තමේන්තු කිරීම් වෙනස් වන බවත් සඳහන් වෙයි. එහිදී 2022 වසර සඳහා වන බදු ආදායම්, බදු නොවන ආදායම්, ප්‍රාදේශීය සභා ආදායම් සහ ප්‍රදාන ඇතුළු සියලුම ආකාරයේ ආදායම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 2.06ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මේ අතර රජය මගින් පත් කර ඇති ආර්ථික ස්ථායිතා කමිටුවේ ප්‍රධානී හිටපු මහාභාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පුවත්පත වෙත සඳහන් කර ඇති ආකාරයට රජයේ ආදායම වැඩි කරගැනීමේ අරමුණින් 2019 වසරට පෙර පැවැති බදු ව්‍යුහය යළිත්  හඳුන්වාදීමේ අවස්ථාවක්ද පවතින ව සඳහන් වෙයි.

එසේම මුදල් අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම අතුරු අයවැය මූලිකවම රටෙහි අඩු ආදායම්ලාභී පවුල් සහ අවදානමට ලක්ව සිටින ජනසමාජයන් වෙත සහන සැලසීම ඉලක්ක කරගනිමින් සකස් කෙරෙන්නෙකි. එසේම කෙටි කාලයක් තුළ රටෙහි ආර්ථික ස්ථායිතාව සහ යථාවත්වීම වෙනුවෙන් සිදු කරන මූලික අඩිතාලම දැමීමක් ලෙසද මෙය හැඳින්වෙයි.

මේ අතර අත්‍යවශ්‍ය රජයේ සේවාවනක් සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සැලසීම මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන්නවුන් සඳහා වන සහන ලබාදීම මෙන්ම ඔවුන්ගේ ආරක්ෂෘව වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීමත් මෙම අයවැයේ අරමුණක් වී තිබේ.

එසේම විශ්‍රාමිකයන් සඳහා වන විශ්‍රාම ගෙවීම් වෙනුවෙන් වෙන් කරන මුදල රුපියල් බිලියන 210 සිට 270දක්වා වැඩි කිරීමටත්, සමෘද්ධි සහනය රුපියල් බිලියන 100 සිට 350 දක්වා වැඩි කිරීමටත් බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍යාංශය මෙහිදී පුවත්පත වෙත පවසා ඇත.

මීට අමතරව අඩු ආදායම්ලාභී පවුල් වෙත සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත දීමනාවක් ලෙස රුපියල් බිලියන 200ක මුදලක් යෝජනා කිරීමක්ද මෙම අතුරු අයවැය යටතේ සිදු කෙරී ඇත.

මේ අතර හෙක්ටයාර දෙකකට වඩා අඩු වගා බිමක් සහිත ගොවීන් ලබාගෙන ඇති ණය කපා හැරීමටත්, රජයේ නාගරික නිවාස ඒකක වෙත මාසික කුලී පදනමින් වාසය කරන පුද්ගලයන් හට එම නිවාසවල අයිතිය ලබාදීමටත් මෙම අයවැය මගින් යෝජනා කෙරෙන බවත් පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 175