ධාන්‍ය අපනයනයට යුක්රේන-රුසියා එකඟතාවෙන් ලෝක ආහාර මිල පහත බැසීමේ හැකියාවක්

යුක්රේනයට සිය ධාන්‍ය නිෂ්පාදන කළු මුහුදේ වරායන් හරහා අපනයනය කිරීමේ අවස්ථාව සලසමින් යුක්රේනය සහ රුසියාව අතර එකඟාවකට අත්සන් තැබීම අද දිනයේදී තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සිදු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ තුර්කියේ මැදිහත්වීමෙන් මෙම එකඟතාව ඇති කරගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 24 වැනිදා සිදු වුණු රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමගින්ම ටොන් මිලියන ගණනක් වූමෙම ධාන්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වූ අතර, එම ධාන්‍ය තොග යුක්රේන වරායන් තුළ ගොඩ ගැසුණි.

යුක්රේනයෙන් ලැබීමට නියමිතව තිබූ මෙම ධාන්‍ය ලෝක වෙළෙඳ පොළ වෙත නොලැබීමත් පසුගිය මාස කිහිපයේදී ලෝකයේ ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. ඒ අනුව මෙම එකඟතාවත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ ආහාර මිල ගණන් පහළ වැටෙනු ඇතැයි බලාපොරොත්තුව වී තිබේ.

එය සනාථ කරමින් මෙම එකඟතාව අත්සන් තැබීමේ පුවත සැලවිමත් සමගින්ම ලොව පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ කිහිපයකම භාණ්ඩමිල ගණන් පහත වැටීමක්ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම කළු මුහුද හරහා රුසියානු ආහාර සහ පොහොර නිෂ්පාදන අපනයනයද මෙම යුද ගැටුම් නිසා නැවතුණු අතර, අලුත්ම එකඟතාව හරහා ඊටද අවස්ථාව ලබාදීමක් සිදුව තිබේ.

ඒ අනුව මෙම එකඟතාවයට ඇතුළත් කරුණු වන්නේ, මෙම ධාන්‍ය රැගත් නෞකා පිටවීම සහ පැමිණීම සිදු වන අවස්ථාවේදී එම වරායන් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට රුසියාව එකඟවීම, යුක්රේන හමුදාවන් කළු මුහුදේ අතුරා ඇති මුහුදු බෝම්බ හරහා එම ධාන්‍ය පැටවූ නෞකා ගමන් කරන තෙක් යුක්රේන යාත්‍රා මගින් ඒවාට පහසුකම් සැලසීම, එක්සත් ජාතීන්ගේ සංවිදානයේ සහයෝගයෙන් තුර්කිය මෙම නෞකා නිරීක්ෂණය කිරීම (මෙම නෞකා මගින් යුක්රේනයට ආයුද ලැබෙන බවට පවතින රුසියානු සැකය දුරුකිරීම සඳහා) සහ මෙම කළු මුහුද හරහා රුසියානු ආහාර සහ පොහොර අපනයනය සඳහා පහසුකම් සැලසීම යනාදියයි.

වර්තමානයේදී ලොව ප්‍රධානතම ආහාර සපයන්නෙකු ලෙස යුක්රේනය සැලකෙන අතර, රටවල් රැසකම ප්‍රධාන තිරිගු පිටි සපයන්නා වන්නේද යුක්රේනයයි. ඒ අතරින් ලෙබනනය සිය තිරිගු පිටි ආනයනයෙන් 81%ක් ම යුක්රේනයෙන් ලබා ගනියි. එසේම කටාරය සහ ටියුනීසියාව සිය තිරිගු පිටි ආනයනයයෙන් 64%ක් සහ 49%ක් ලබා ගන්නේ යුක්රේනයෙනි.

එසේම පාකිස්තානය සිය තිරිගු පිටි ආනයනයෙන් 48%ක් යුක්රේනය හරහා ලබා ගනියි. ඉක්දුනීසියාව සහ මැලේසියාව තුළ එය පිළිවෙලින් 29%ක් සහ 26%කි. බංග්ලාදේශයත් සිය තිරිගු පිටි අවශ්‍යතාවයෙන් 25%ක් සපුරා ගන්නේ යුක්රේනයෙනි.

Visits: 130