Monkyepox වෛරස ව්‍යාප්තිය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කරයි

වර්තමානයේදී ලොව රටවල් ගණනාවකදී වාර්තා වන monkeypox හෙවත් වඳුරු උණ වෛරස ව්‍යාප්තිය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස නම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදානොම් විසින් ඊයේ දිනයේදී මෙම නිල ප්‍රකාශය සිදු කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා කමිටුවෙහි දෙවැනි හමුවෙන් අනතුරුව මෙලෙස එම වසංගත තත්ත්වය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කෙරී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා වර්තමානයේදී ලොව රටවල් 75ක් තුළ monkeypox ආසාදිතයන් 16,000කට අධික සංඛ්‍යාවක් සිටින බව හඳුනාගෙන ඇතැයි පවසා තිබේ. එසේම මේ දක්වා ආසාදිත මරණ පහක්ද වාර්තා වී තිබේ.

මෙලෙස ලොව පුරාම ව්‍යාප්ත වී ඇති මෙම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයක් අවශ්‍යව ඇතැයිද ප්‍රධානියා මෙහිදී පවසා තිබේ. විශේෂයෙන්ම මෙම වසංගතය සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම ඊට හේතුවයි.

ආසාදිත පුද්ගලයෙකු ස්පර්ශයෙන් සහ එම පුද්ගලයා පරිහරණය කළ දෑ පරිහරණය කිරීම මගින් මෙම වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදනය වෙයි. මෙහිදී උණ, සන්ධි වේදනාව, වමනය, පාචනය ඇතුළු රෝගලක්ෂණ ඇති වන අතර, සිරුරේ බිබිලි හට ගැනීම සහ ඒවා මගින් සැරව පිටවීම සිදුවෙයි. එසේම සමලිංගික සබඳතා පවත්වන පුරුෂයන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවටත් හඳුනාගෙන තිබේ.

ගෙවුණු කාලසීමාව තුළදී ලොව පුරා මෙම monkeypox වසංගතය මේ තරමින් හෝ පාලනයක් සහිතව ව්‍යාප්තවීමට මූලිකම හේතුව ලෙස කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා තිබූ සංචරණ සීමාවන් බවද ලෝක සෞඛ්‍ය සංවීධානය මීට පෙර පවසා තිබුණි.

ඒ අනුව එම වසංතයේදී සීමා කරතිබී ලෝක සංචරණ අවස්ථාවන් යළිත් ලිහිල් කරමින් පවතින අවධියකදී monkeypox ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීම සංචාරක කර්මාන්තය තවත් අර්බුදයකට පත් කිරීමේ පෙරනිමිත්තක් බවද අදහස වී තිබේ.

වර්තමානයේදී මෙලෙස ලෝක සෞඛ්‍ය සංවීධානය මගින් ප්‍රකාශයට පත් කර ඇති ගෝලීය හදිසි අවස්ථාවන් දෙකක් ලොව තුළ පවතින අතර ඉන් එකක් වන්නේ නවකොරෝනා වෛරසය සහ පෝලියෝ තුරන් කිරීමේ වැඩසටහනයි.

Visits: 68