ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක ජූනි මාසයේදී පහළට – මහ බැංකුව

2022 ජූනි මාසයේදී නිෂ්පාදන සහ සේවා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ අතරින් ජූනි මාසයේදී නිෂ්පාදන අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය ඒකක 44.1ක් ලෙස සටහන්ව ඇති අතර, එය මැයි මාසයට සාපේක්ෂව දර්ශකාංක 6.2ක පහළ යෑමකි. මැයි මාසයේදී එය දර්ශකාංක 50.3ක් ලෙස සටහන් විය.

මෙම පහළ යෑම කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශකයන්හි සිදු වූ පළහ යෑම හේතු වූ බව මහ බැංකුව පවසයි. එහිදී එම දර්ශකය දර්ශකාංක 72.8ක් දක්වා ඉහළ නැග ඇත.

ඒ අනුව නව ඇණවුම් සඳහි වන උපදර්ශකය දර්ශකාංක 38.3ක් දක්වාත්, නිෂ්පාදනය දර්ශකාංක 36.2ක් දක්වාත්, සේවා නියුක්තිය දර්ශකාංක 45.7ක් දක්වාක්, තොග මිලදී ගැනීම් දර්ශකාංක 34.8ක් දක්වාත් පහළ වැටී තිබේ.

“විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම් පහත වැටුණු අතර මේ සඳහා ඉහළ උද්ධමනකාරී පරිසරයක් තුළ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව පිරිහීමද හේතු විය.” මහ බැංකුව සඳහන් කරයි.

විදේශීය ගැණුම්කරුවන් රට තුළ පවතින දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය සහ ඇණවුම් සම්පූර්ණ කිරීමේදී ඇතිවිය හැකි බාධාපිළිබඳ කනස්සල්ලෙන් පසුවීම හේතුවෙන් අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා වන නව ඇණවුම්ද අපේක්ෂිත  ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පැවතී තිබේ.

එසේම පෙර මාසයට සාපේක්ෂව 2022 ජුනි මාසයේදී නිෂ්පාදන මට්ටම්වල පහත වැටීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය හිඟය සහ මට්ටම්වල පහත වැටීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය හිඟය සහ පවතින බලශක්ති හිඟය හේතු වී තිබේ.

මෙහිදී ඉන්ධන හිඟය නිෂ්පාදනය කෙරෙහි රජුව මෙන්ම ප්‍රවාහන අපහසුතා හරහා වක්‍රවද බලපෑම් එල්ල කර තිබේ. තවද, විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු සේවා නියුක්තියේ පහත වැටිමත් සමග සේවා නියුක්තිය උප දර්ශකය පෙර මාසයට සාපේක්ෂව පහත වැටීමක් දක්නට ලැබී තිබේ.

මේ අතර රට තුළ පවතින අවිනිශ්චිත ආර්ථික පරිසරය,  සැපයුම් අංශයේ බාධාවන් සහ විදේශීය ඉල්ලුම දුර්වල වීමට ඇති හැකියාව ආදිය හේතුවෙන් ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු සඳහා වන අපේක්ෂාවන්ද තවදුරටත් පහත යනු ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

එසේම සේවාං අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේදී දර්ශකාංක 40.3ක් ලෙස සටහන්ව තිබේ. එය මැයි මාසයේදී වාර්තා කළ එම දර්ශකාංක අගයට සාපේක්ෂව දර්ශකාංක 2.1ක පහත වැටීමකි.

මෙහිදී ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල පහළ යෑම හේතු වී තිබේ.

“ප්‍රධාන වශයෙන් ප්‍රවාහන නවාතැන් සහ ආහාර පාන සැපයීමේ සේවා සහ අධ්‍යාපන යන උප අංශවල දක්නට ලැබුණු පහළ යෑම් සමග 2022 මැයි මාසයට සාපේක්ෂව 2022 ජුනි මාසයේදී නව වාපාර තවදුරටත් පහත වැටුණි.” මහ බැංකුව පවසයි.

Visits: 62