“ශ්‍රී ලංකාව චීනයෙන් ඩො. බිලියන 4ක ආධාරයක් අපේක්ෂාවෙන්” – චීනයේ ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාව චීනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක මූල්‍යමය ආධාරයක් ලබා ගැනීම සඳහා වන එකඟතාවකට පිවිසෙමින් සිටින බවත්, ඇතැම් විට චීනය මෙම මුදල් ලබා දිම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව පවසා තිබේ.

මේ යටතේ ශ්‍රී ලංකාව චීනයෙන් දැනටමත් ඩොලර් බිලියන 1ක ණය මුදලක් ඉල්ලුම් කර ඇති බවත්, එය මේ වසරේදී ආපසු ගෙවීමට ඇති චීනයෙන් ගත් ණය මුදලට සමාන වන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකාව චීනයෙන් ආනයනය කළ භාණ්ඩ සඳහා තවත් ඩොලර් බිලියන 1.5ක මුදලක් අපේක්ෂාවෙන් සිටින බවත්, ඊට අමතරව තවත් ඩොලර් බිලියන 1.5ක විදේශ මුදල් හුවමාරු එකඟතාවකට පිවිසීමේ අරමුණින් පසුවන බවත් තානාපති කොහොන පවසා ඇත.

“අපිට විශ්වාසයක් තිබෙනවා යම් කාරණා සලකා බලමින් චීනයේ පද්ධතිය අපගේ ඉල්ලීමට එකඟතාවක් පළ කරාවි කියනවා. මොකද මේවා අහේතුක ඉල්ලිම් නෙමෙයි.”

මේ අතර ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති අනෙකුත් ණයහිමිකරුවන්ගෙන්ද මෙවැනිම ඉල්ලීම් සිදු කර ඇති බවත් පවසා ඇති තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය යළිත් ස්ථාවර කිරීම සඳහා එම අරමුදල් අත්‍යවශ්‍ය බවත් අවධාරණය කර තිබේ.

Visits: 121