බිල්ගේට්ස් සිය වත්කමින් තවත් ඩො. බිලියන 20ක් දන් දෙයි

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයෙකු මෙන්ම කලක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කෙරුණු බිල් ගේට්ස් සිය වත්කමින් තවත් ඩොලර් බිලියන 20ක් තමන් පවත්වාගෙන යන පුණ්‍ය අරමුදල වෙත ප්‍රදානය කිරිමට තීරණය කර ඇතැයි පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බිල් ගේට්ස් මේ බව පවසා තිබේ.

මෙම පුණ්‍ය අරමුදල බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම ලෙස හැඳින්වෙන අතර, ඔහු සහ ඔහුගේහිටපු බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් එක්ව 2000 වසරේදී එය පිහිටුවා ගැනුණි. ගත වුණු කාලය පුරා ඔහු සහ බිරිඳ මෙම පදනම වෙනුවෙන් අරමුදල් සැපයීම සිදු කර තිබේ.

ඔහු සඳහන් කරන ආකාරයට අද වනවිට මෙම පදනම මගින් වාර්ෂිකව විවිධ කටයුතු සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් වියදම් කරන අතර, වසර 2026 වනවිට එය ඩොලර් බිලියන 09ක් දක්වා ඉහළ යාමේ අවස්ථාවක් පවතී. විශේෂයෙන්ම වසංගතය,යුක්රේන ගැටුම් සහ දේහගුණික විපර්යාස ඊට හේතුව බව ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාවට අනුව වර්තමානයේදී බිල්ගේට්ස්ගේ වත්කම ඩොලර් බිලියන 118ක් වන අතර ඔහු ලොව සිව්වැනියට ධනවත්ම පුද්ගලයාද වෙයි. කෙසේ වෙතත් මෙම මුදල් ප්‍රදානයත් සමගින්ම ඔහුගේ වත්කම අඩු වී ඔහු මෙම ධනවතුන්ගේ ලැයිස්තුවෙන් තවදුරටත් පහළට යෑමේ අවස්ථාවක්ද උදා වී තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට බිල් ගේට්ස් සිය වත්කමින් ඩොලර් බිලියන 20ක් මෙම පදනම වෙත ප්‍රදානය කිරීමට මුලින්ම තීඍණය කර ඇත්තේ 2010 වසරේදීය. එහෙත් අද වනවිට ඔහුගේ වත්කම එම කාලයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය සඳහන් කරයි.

“මම අනාගතය දිහා බලන විදියට, මම මා සතු සියලුම ධනය මේ පදනම වෙත ප්‍රදානය කරන්න සැලසුම් කර තිබෙනවා. එතැනදී මම අද රැඳී සිටින ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවෙන් පහළට ඇද වැටේවි.” යනුවෙන් බිල් ගේට්ස් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස් 1995 සිට 2010 දක්වා කාලය තුළ ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්විය. එසේම යළිත් වරක් ඔහු 2013 සිට 2017 දක්වා ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්විය.

2017 වසරේදී ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් බිල් ගේට්ස් පසුකරමින් ලොව ධනවතා බවට පත් වූ අතර, අනතුරුව 2022 දී ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් ලොව ධනවතා බවට පත්විය.

Visits: 141