හිටපු ජනපති – හිටපු ඇමති ධම්මිකට පැවරූ දෙපාර්තමේන්තු සියල්ල යළිත් අගමැති යටතට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14දා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් යටතට අයත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඇතුළත් දෙපාර්ත‍‍මේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සංශෝධනයට ලක් කිරිමට කටයුතු කර තිබේ.

අගමැති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ පිළිබඳව දැනුම් දී සිටියි.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයද ඇතුළුව සමස්ත ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි අංශය ඇතුළුව ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සියලුම දෙපාර්තමේන්තු, ව්‍යාවස්ථාපිත ආයතන අගමැතිවරයා යටතට පත් කර තිබේ.

එසේම මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කළ ධම්මික පෙරේරා මහතාට පැවරූ රක්නා ආරක්ෂක ලංකා සමාගමත් යළිත් වික්‍රමසිංහ මහතා අතට පත්ව තිබේ.

මීට අමතරව ධම්මික පෙරේරා මහතා යටතට‍ පත් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සතුව තිබූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, කොළඹවරාය නගර ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝ පාක් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන යනාදියද යළිත් වරක් අගමැතිවරයා යටතට පත් කරගෙන තිබේ.

පසුගිය ජූනි මාසයේ 22 වැනිදා ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු මෙලෙස හිටපු ජනපතිවරයා ඉදිරියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එසේම පසුගියදා උත්සව සභාවක් අමතමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුව වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ඩොලර් ඉපැයීමේ සැලසුමක් නොමැති බවත්, ඔහු වහාම අගමැති ධුරයට අමතරව දරන මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවත් පවසා සිටියේය.

මේ අතර හිටපු ඇමති ධම්මික පෙරේරා මහතා පසුගිය ජුලි09 වැනිදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනාධිපතිවරයා වෙත භාරදුන්නේය.

Visits: 276