ඉෂාරගේ බ්‍රවුන්ස් සතු වූ Saga solar Power හි 50.10%ක් හැරීගේ එයිට්කන් ස්පෙන්ස් වෙත විකුණයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම යටතේ පැවැති පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති සමාගමක් වන Sagasolar Power (පෞද්) සමාගමෙහි 50.10% ක කොටස් හිමිකාරීත්වයක් අත්හැරීමට එම සමාගම තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි.

මෙහිදී කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත තවත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම මෙම කොටස් ප්‍රමාණය මිලදී ගැනීම සිදු කර තිබේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙරට මුල් පෙළේ ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාට අයත් බ්‍රවුන්ස් සමූහයට අයත් සමාගමකි. එම සමාගම මගින් 2015 වසරේදී මෙම Sagasolar Power (පෞද්) සමාගමේ 50%ක කොටස් ප්‍රතිශතයක් රුපියල් මිලියන 407ක මුදලකට මිලදී ගැනීම සිදුවිය. එහිදී අත්පත් කරගත් එම සමාගමේ කොටස් ප්‍රමාණය මිලියන 38.7ක් විය.

අද වනවිට Sagasolar Power (පෞද්) සමාගම මගින් හම්බන්තොට, බුරුතකන්ද ප්‍රදේශයේදී මෙගාවොට් 10ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි. එය 2016 දෙසැම්බර් මාසයේදී ඉෂාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. LOLC සමූහය සහ Faber Capital Invest යන සමාගම්වල රුපියල් බිලියන 2.6ක ආයෝජකයන් ලෙස එය ආරම්භ වී තිබේ.

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම මෙරට තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධනට අයත් සමාගමකි. එම සමාගම මගින් අද වනවිට මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක්ම පවත්වාගෙන යයි.

Visits: 781