සිම්බාබ්වේහි අධිඋද්ධමනය පාලනයට එරට මහ බැංකුව රන් කාසියක් නිකුත් කිරිමට යයි

ලොව අංක එකේ අධි උද්ධමනයක් පවතින සිම්බාබ්වේ රාජ්‍යයේ මහ බැංකුව එම උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මේ මාසයේ සිට රන් කාසියක් අලෙවිය සඳහා නිකුත් කිරීමට සූදානමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි. අද වනවිට එරට තුළ පවතින මෙම අධි උද්ධමනය හේතුවෙන් සිම්බාබ්වේ මුදල් ඒකකය දරුණු ලෙස අවප්‍රමාණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන සිම්බාබ්වේ මහ බැංකුවෙහි අධිපති ජෝන් මන්ගුඩ්යා, ලබන ජූලි 25 වැනිදා සිට මෙම රන් කාසිය සංසරණය සඳහා නිකුත් කරන බව පවසා තිබේ. ඒ අනුව එරට දේශීය මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලර්, එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් ඕනෑම මුදල් ඒකකයක් භාවිතා කරමින් එම කාසිය මිලදී ගැනීමේ හැකියාව තිබේ.

එහිදී මෙම කාසියේ වටිනාකම ජාත්‍යන්තර රත්රන් මිල ගණන් සහ එම කාසියේ නිෂ්පාදන වියදම අනුව මිල කෙරී ඇතැයි සඳහන් වෙයි.

එරට සුප්‍රසිද්ධ වික්ටෝරියා දිය ඇල්ල අනුව යමින් මෙම රන් කාසිය Mosi – oa –tunya ලෙස නම් කර තිබේ. මහ බැංකුව පවසන ආකාරයට මෙම කාසිය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද මුදල් බවට පත් කරගැනීමේ හැකියාව ඇත. එහිදී මෙම එක් කාසියක් එක් ට්‍රෝයි අවුන්සයක බරකින් යුක්ත වන අතර, දේශීය බැංකු සහ Fidelity Gold Refinery හා Aurex යන රන් ආභරණ අලෙවි සමාගම් හරහා මිලදී ගැනීමේ හැකියාව පවතී.

විශේෂයෙන්ම ආයෝජකයන් විසින් උද්ධමනය සහ යුදමය තත්ත්වයන්වලට එරෙහිව ජාත්‍යන්තරව ආයෝජනය සඳහා රත්රන් භාවිතා කිරිමක් සිදු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව අගය පහත වැටී ඇති දේශීය  මුදල් ඒකකය වෙනුවට රන් වටිනාකම පවතින මෙම රන් කාසිය අලෙවිය හරහා ලැබෙන අරමුදල් රැස් කිරීමෙන් එරට අධිඋද්ධමනය පාලනය මහ බැංකුවේ අරමුණ වී තිබේ.

පසුගිය ජූනි මාසය වනවිට සිම්බාබ්වේහි උද්ධමනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 192෴ක ප්‍රතිශතයක් ගෙන තිබුණි. ඒ අනුව අද වනවිට ලොව වැඩිම උද්ධමනයක් පවතින රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

Visits: 168