කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 12 වන වසරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට

ලොව සුපතල එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට පිට පිටම 12 වන වසරටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. 

බැංකුවක මූල්‍ය ශක්තිය මැනීමේ මූලික දර්ශකයක් වන පළමු පෙළ ප‍්‍රාග්ධනය මූලික වශයෙන්  පදනම් කරගනිමින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ගෝලීය වශයෙන් මෙම බැංකු වර්ගීකරණය කරයි.

‘මතක කාලයක ශ‍්‍රී ලංකාවේ බැංකු මුහුණ දුන් දුෂ්කරම කාලය මෙයයි. ශී‍්‍ර ලංකාව අද දකින ආර්ථික ප‍්‍රශ්න කොවිඩි-19 වසංගතයේ බලපෑම් නිසා තවත් උග‍්‍ර වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 12 වන වතාවටත් කොමර්ෂල් බැංකුව තේරී පත්වීම ඇත්ත වශයෙන්ම කැපී පෙනෙන ජයග‍්‍රහණයක්,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය.

‘මෙම සහතික කිරීම තුළින් බැංකුව අඛණ්ඩව පවත්වාගෙන යන ස්ථාවරත්වය සහ බාහිර අභියෝග මැද ශක්තිමත් ලෙස සිය බැංකු මූලධර්ම පවත්වාගෙන යාමට ඇති හැකියාව පෙන්නුම් කරනවා.’  යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.  

මෙම ලයිස්තුවේ ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 05 අතරට ICBC, චයිනා කන්ස්ට‍්‍රක්ෂන් බෑන්ක්, ඇග‍්‍රිකල්චරල් බෑන්ක් ඔෆ් චයිනා, බෑන්ක් ඔෆ් චයිනා, JP මෝර්ගන් චේස් ඇන්ඞ් කම්පනි ඇතුළත් වන අතර කොමර්ෂල් බැංකුව මෙම ලයිස්තුවේ 930 වන ස්ථානයට පත්වී තිබේ. 

මෙම වර්ගීකරණයේදී ‘ද බෑන්කර්’ සඟරාව විසින් අංක 1 සිට 1000 දක්වා බැංකු වර්ගීකරණය කරන අතර ලොව බැංකු කර්මාන්තයේ වඩාත්ම ඇගයීමට ලක්වී තිබෙන වර්ගීකරණයක් වන ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ කළාපීය ලයිස්තුව සකස් කිරීමේදී සඟරාවේ කර්තෘ මණ්ඩලයේ අදහස් ද සැලකිල්ලට ගනී. අංශ අටක කාර්ය සාධනය මනිමින් රටින් රටට බැංකු වලට ලකුණු ලබාදීමටත් ඒවා වර්ගීකරණය කිරීමටත් ප‍්‍රධාන අනුපාත 08 ක් ඇතුළත් ආකෘතියක් මෙහිදී භාවිතාකරයි. වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය, අවධානමට අදාළ ප‍්‍රතිලාභය, විශ්වාසවන්තභාවය, ලාභදායීතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාවය මෙහිදී සැලකිල්ලට ගනී. සෑම බැංකුවක්ම මෙම අංශ වලදී දක්වන කාර්යසාධනය පදනම් කරගනිමින් සමස්තයක් ලෙස ‘හොඳම කාර්ය සාධනයක් පෙන්වන බැංකු’ ලකුණු සහ වර්ගීකරණය සකස් කරයි. 

2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙසින් පිට පිටම තුන්වන වසර සඳහාත් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර 2021 වසර අවසන් වනවිට බැංකුව සතුව රුපියල් ටි‍්‍රලියන 1.983 ක සමස්ත වත්කම් පැවතුණි. එසේම, 2021 මූල්‍ය වසරේදී බැංකුව රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක්, රුපියල් බිලියන 24.29 ක ශුද්ධ ලාභයක්, රුපියල් ටි‍්‍රලියන 1.473 ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 1.095 ක ණය පොතක් වාර්තා කරන ලදී.

ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත සැලකීමේදී 2021 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමුපෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 11.923% ක්වූ අතර එය තිබිය යුතු අවම අනුපාතය 9%කි. එසේම, සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය ද තිබියයුතු 13% ක ප‍්‍රමාණය ඉක්මවා යමින් 15.650% ක මට්ටමක තිබීම ද මෙහිදී කැපී පෙනේ.

Visits: 85