හිරාන් කබ්රාල් සම්පත් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට

සම්පත් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස බැංකුකරණයේ වසර 34ක අත්දැකීම් සහි හිරාන් ඇන්තනි කබ්රාල් මහතා පත් කරගන්නා බව එම බැංකුව නිවේදනය කරයි. අද දිනයේදී රැස්වුණු සම්පත් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ හමුවේදී මෙම නව පත් කරගැනීම පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (ජූනි 30) දිනයේ සිට ඒ මහතා සම්පත් බැංකුවෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරගෙන තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට කබ්රාල් මහතා සතුව බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොපැවති බවත් සඳහන් වෙයි.

හිරාන් කබ්රාල් මහතා මීට පෙර HSBC බැංකු සමූහයේ ආසියාපැසිපික් කලාපයේ සහ වියෙට්නාමයේ PwC Consulting සමාගමේ ඉහළ තනතුරු හොබවා ඇති එම ක්ෂේත්‍රය තුළ වසර 34ක අත්දැකීම් සහිත වෘත්තිකයෙක් බව සම්පත් බැංකුව පවසයි. 1998 වසරේදී ඒ මහතා HSBC ඉන්දුනීසියා බැංකුවේ භාණ්ඩාගාර සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රධානියා ලෙස එම සමූහයේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ මහතා 2017 දී සිංගප්පූරුවෙහි HSBC බැංකුවේද ඉහළ ධුරයක් දරා ඇත.  

වර්තමානයේදී ඒ මහතා වියෙට්නාමයේ PwC Consulting සමාගමේ ජ්‍යෙෂ්ට බැංකුකරණ උපදේශක/කොන්ත්‍රාත්කරු ලෙස ක්‍රියා කරයි. එසේම වියෙට්නාමය තුළ පිහිටවූ HSVC කම්පැනි ලිමිටඩ්හි නිර්මාතෘවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි.

Visits: 66