ආචාර්ය නන්දලාල් තවත් වසර 06කට මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවත් වසර 06ක කාලයක් සඳහා එම ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ තනතුර සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය අප්‍රේල් 07 වැනිදා මෙලෙස එම ධුරය සඳහා පත් කෙරිණි.

ඒ වන විටත් ඒ මහතා මහ බැංකුවෙන් විශ්‍රාම ගොස් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියේය. ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ඔහු නැවතත් මෙරටට පැමිණ මහ බැංකු අධිපති ධුරය භාර ගත්තේය. එම ඉතිරි ධුර කාලය මෙලෙස අවසන්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් තවත් වසර 06ක කාලයක් සඳහා එනම් 2028 වසර දත්වාම ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ මහතා පත් කෙරී තිබේ. තමාද පූර්ණ වශයෙන් වසර හයක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් වීරසිංහ මහතා මීට පෙර බී.බී.සී. පුවත් සේවය වෙත පවසා තිබුණි.

Visits: 42