රිලයන්ස් අධිපති මුකේෂ් අම්බානි සිය ව්‍යාපාර කිහිපයක පාලනය දරුවන්ට භාරදෙයි

ඉන්දියාවේ අංක එකේ ධනවතෙකු වන රිලයන්ස් සමූහයේ අධිපති මුකේෂ් අම්බානි තමන් යටතේ ඇති ප්‍රධානතම ව්‍යාපාර මෙහෙයුම් කිහිපයක පාලනය තම දරුවන් තිදෙනා වෙත ලබාදිමට ඊයේ තීරණය කළේය. ඒ අනුව සිය සමාගම් සමූහයේ දුරකතන සන්නිවේදන, සිල්ලර අලෙවි සහ බලශක්ති යන අංශ මෙලෙස ඔහු සිය පුතණුවන් දෙදෙනාට සහ එකම දියණියට භාර දී තිබේ.

මෙලෙස ඊළග පරම්පරාව වෙත ව්‍යාපාරික නායකත්ව වගකීම් භාර දිමට මුකේෂ් අම්බානි තීරණය කිරිමත් සමගින්ම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම් සමූහයේ කොටස් වටිනාකම්ද ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.  වර්තමානයේදී රිලයන්ස් සමූහයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 200කට ආසන්න වෙයි.

ඒ අනුව මෙම නායකත්ව වගකීම් පැවරීම යටතේ මුකේෂ් අම්බානිගේ වැඩිමහල් පුත්‍රයා වන 30 හැවිරිදි ආකාෂ් අම්බානි වෙත සමූහයේ දුරකතන සන්නිවේදන සමාගම වන Reliance Jio හි සභාපතිවරයා ලෙස පත් කෙරී තිබේ. එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇති ආකාෂ්, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්වූයේ 2014 වසරේදීය. ඉන්දියාව තුළ විශාලතම දුරකතන සන්නිවේදන මෙහෙයුම්කරුවා ලෙස Jio පත් කිරීම ඔහුගේ සැලසුම විය. ඔහු 2019 වසරේදී විවාහ වූ අතර, ඔහුගේ මනාලිය වූයේ ඉන්දියාවේ පොහොසත් දියමන්ති වෙළෙන්දෙකුගේ දියණියකි.

මුකේෂ් අම්බානිගේ දෙවැනි දරුවා මෙන්ම එකම දියණිය වන 30 හැවිරිදි ඊෂා අම්බානි වෙත රිලයන්ස් සමූහයේ සිල්ලර, ඉ-වාණිජ සහ සුඛෝපභෝගී නිෂ්පාදන අංශය භාරදී තිබේ. ඇය එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් ලබා ගත් තැනැත්තියකි.

ඊෂා යනු ආකාෂ්ගේ නිවුන් සහෝදරියද වෙයි. ඇය මේවනවිට රිලයන්ස් සමාගම යටතේ ආරම්භ කිරීමට නියමිතව ඇති සාප්පු සංකීර්ණයේ කටයුතු සඳහා මැදිහත්ව සිටින බවත් සඳහන් වෙයි. මේ අතර ජනප්‍රිය ව්‍යාපාරික සඟරාවක් වන Fortune සඟරාව මගින් ඉන්දියාවේ වඩාත් බලසම්පන්න කාන්තාවන් අතර 21 වැනි ස්ථානයට ඇය නම් කර තිබේ.

ඊෂා 2018 වසරේදී විවාහ වූ අතර, ඇගේ මනමාලයා වූයේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ පිරාමාල් සමූහයේ හිමිකරුවාගේ පුත්‍රයා වන ආනන්ද් පිරාමාල් සමගිනි.

මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 27 හැවිරිදි අනන්ත් අම්බානි වෙත භාර දී ඇත්තේ රිලයන්ස් සමූහයේ බලශක්ති ව්‍යාපාර අංශයයි. ඔහුද බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. විශේෂයෙන්ම රිලයන්ස් සමූහය යටතේ නව බලශක්ති ව්‍යාපාර වෙත ආයෝජනය අරමුණ වී තිබේ. එහිදී වැඩි වශයෙන් හරිත බලශක්තිය වෙත එම සමාගම යොමු වනු ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව ඉදිරියේදී එම සමාගමේ සූර්ය සහ හයිඩ්‍රජන් පාදක බලශක්ති ව්‍යාපෘති සඳහා වන ආයෝජනයන්හි ඉහළ යාමක් බලාපොරොත්තුව වී තිබේ.

වර්තමානයේදී මුකේෂ් අම්බානිගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 93.4කි. ඒ අනුව ඔහු ඉන්දියාවේ දෙවැනි ධනවතා ලෙස සැලකෙයි. අදානි සමූහයේ ගෞතම් අදානි පළමු තැනේ පසුවෙයි. එසේම මුකේෂ් අම්බානි ලෝකයේ ධනවතුන් අතර 10 වැනි ස්ථානයේ පසුවෙයි.

Visits: 131