2022 වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධන වේගයේ 1.6%ක පසුබැසීමක්

මේ වසරේ පළමු කාර්තුවේදී (ජනවාරි 01 සිට මාර්තු 31දක්වා) ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ අගය රුපියල් මිලියන 3,463,101ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙය 2021 වසරේ  පළමු කාර්තුවේදී වාර්තා කළ දළ දේශීය නිෂ්පාදිතයේ අගය වන රුපියල් මිලියන 3,519,921කට සාපේක්ෂව මෙය -1.6%ක පසුබැසීමක් ලෙස සටහන්ව තිබේ.

මෙය 2021 පළමු කාර්තුව හා සැසඳීමේදී 2022 පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගයේ -1.6%ක හැකිලීමක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම පළමු කාර්තුව සම්බන්ධයෙන් නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සට ස්ථාවර මිල (2015) යටතේ දළ දේශීය නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇත්තමේන්තුව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

මේ අතර 2021 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 2022 වර්ෂයේ පළමු කාර්තුව තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශවල වර්ධන වේගයන් පිළිවෙලින් 6.8%ක් සහ 4.7%ක් ලෙසින් හැකිලීමක් පෙන්නුම් කර තිබේ. එහෙත් සේවා අංශය 0.7%ක සුළු වර්ධන වේගයක් ළගා කරගෙන තිබේ.

මෙහිදී අවාසනාවන්ත ලෙස මේ වසරේ පළමු කාර්තුවේදී රටෙහි උද්ධමනය ඉහළ යෑම, රුපියල අවප්‍රමාණයවීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවම වී වැනි සාධක ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම කාර්තුව තුළදී අපේක්ෂිත ලෙස ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් වී ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් 2022 වර්ෂය උදාවීමත් සමගම 2020 සහ 2021 වර්ෂ පුරා පැවැති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගත කළ දුෂ්කර කාල පරිච්ඡේදය හේතුවෙන් පසුබැසි ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ගලා යමින් පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Visits: 69