ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රීකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 2 කින සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

‘වෝන් – මුරලි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ‌’ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් බැවින් දෙපිළටම මෙම තරගාවලියේ අවසානය ඉතා වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

“දෙරට අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී මුණ ගැසුණු අවස්ථාවේදී තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එම ජයග්‍රාහී මතකයත් සමඟ වර්තමානයේ කණ්ඩායම තුළ දැක ගත හැකි හදිසි පිබිදීම හේතුවෙන් හෙටින් ඇරඹෙන තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමද වැඩි බලාපොරොත්තු තබා තිබේ.” ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා පිල බොහෝ විට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණවීමට වැඩි ඉඩ කඩක් පවතිනු ඇත. මෙරට තණතීරුවලදී දඟ පන්දුව හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මුහුණ දීමේදී දැඩි අසිරුතාවයකට පත්වීම සාමාන්‍ය තත්ත්වයක් බැවින්, එම උපාය හෙට තරගයේදීද යොදා ගැනීමට නියමිතව තිබේ.

“අපි තාම අවසන් 11 තීරණය කළා නෑ. නමුත් 12 ක් අපි නිවේදනය කරලා තියෙනවා. එතැනට දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනකු ඇතුළත් වෙලා ඉන්නවා. හෙට උදේට බලලා අපි තීරණය කරනවා. ගොඩක් වෙලාවට මම හිතනවා විකට් එක ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන් එක්ක වැඩිපුර යන්න වෙයි” යැයි තරගය පිළිබඳව දිමුත් කරුණාරත්න අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සි, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කාරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්.

ඔස්ට්‍රේලියානු සංචිතය – ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, ස්ටීවන් ස්මිත්, කැමර්න් ග්‍රීන්, ග්ලෙන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්‌වෙප්සන්, පැට් කමින්ස් (නායක), නේතන් ලයන්, මිචෙල් ස්ටාර්ක්, ඇෂ්ටන් ඒගාර්, ස්කොට් බෝලන්ඩ්, ජොෂ් හෙසල්වුඩ්, ට්‍රෙවීස් හෙඩ්, ජොෂ් ඉංග්ලිස්, මිචෙල් මාෂ්.

Visits: 35