අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට මුදල් මණ්ඩලය තීරණය කරයි

සිය මෙහෙයුම් කටයුතු අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පහක් ඈවර කිරිමට ශ්‍රී ලංකාමහ බැංකුවෙහි මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙතෙක් මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර තිබුණු සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්, ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් යන අසාර්ථක මූල්‍ය සමාගම් පහ මෙළෙ ඈවර කිරීමට තීරණය කර තිබේ.

මෙහිදී අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් මෙම අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි යෝජනා පරීක්ෂා කිරීම සඳහා 2021 ඔක්තෝබර් මාසයේදී පත් කෙරුණු ‘අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුව‘ද  විසුරුවා හැරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

මෙම අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මුදල් මණ්ඩලය විසින් මෙම උපදේශන කමිටුව වෙත වගකීම පවරා තිබුණි.

ඒ අනුව මෙම සමාගම් අතරින් සමාගම් හතරක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අනුව සකස් කළ මෙම කමිටුවේ අවසන් වාර්තාව පසුගිය මැයි 31 වැනිදා මුදල් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත් උපදේශන කමිටුව වෙත ඉදිරිපත් ව තිබූ යෝජනා මගින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටලු ඇති කරවන බවත්, එම යෝජනා පවතින නීතිමය රාමුව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවත් මුදල් මණ්ඩලය සඳහන් කර තිබේ.

එසේම පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කිසිදු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයන්ගෙන් ඉදිරිපත් නොවනු ඇති බවටද මෙම උපදේශන කමිටුව මගින් අපේක්ෂා කර තිබූ බවත් සඳහන් වෙයි.

Visits: 130