හේලීස් ෆැබ්රික් සමාගම ‘දියතුරු උයන‘ නමින් අක්කර 09 ක තෙත් බිම් උද්‍යානයක් පිහිටුවයි

හේලීස් සමූහයට අනුබද්ධිත ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හේලීස් ෆැබ්රික් සමාගම කළුතර දිස්ත්‍රික්කයේ තමන්ට අයත් තෙත් බිම් අක්කර 9 ක් ‘දියතුරු උයන‘ නමින්  වෙන් කර එහි ජෛව විවිධත්වය පුනර්ජීවනය කිරිමට පියවර ගත් බව පවසයි.

කළුතර දිස්ත‍්‍රික්කයේ හොරණ – මතුගම පාරට සහ නාර්තුපාන – වරකාගොඩ පාරට මායිම්ව සමාගමේ නාර්තුපාන වතුයාය ඉදිරිපිට මෙම දියතුරු උයන පිහිටා ඇත.

මේ සඳහා සමාගම මගින් සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 6.3කි. මේ හරහා ප‍්‍රදේශයෙහි දැකිය හැකි ජෛව විවිධත්ව සුවිශේෂිතා පිළිබඳ දැනුවත් කිරීමටත් පරිසරය සුරකිමින් ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමටත් දායකත්වය ලබා දීම අරමුණ බව හේලීස් ෆැබ්රික් ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා, ‘‘ජෛව විවිධත්වය විනාශ වීම ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනයක්. එමෙන්ම තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා හුදෙක් සංරක්ෂණයට වඩා ජෛව විවිධත්වය යළි ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. කාර්මීකරණය තුළ එය අභියෝගාත්මක උත්සාහයක් වන නමුත් අපගේ පරිසරයටල පාර්ශවකරුවන්ට සහ සේවකයින්ට ධනාත්මක බලපෑමක් ඇති කරන මෙවැනි ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවාග ආයතනයක් ලෙස අපගේ තිරසාරත්වය කරා යන ගමන් මගෙහි පුළුල් ප‍්‍රගතියක් ලබා ඇති අතර අප දැන් එහි නව පරිච්ෙඡ්දයක් ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශනය යටතේ කටයුතු කරමින් හේලීස් ෆැබ්රික් සමාගම විසින් 2020 අගෝස්තු සිට 2021 ජනවාරි දක්වා සිදු කරන ලද ක්ෂේත‍්‍ර සමීක්ෂණවලින් මෙරටට ආවේණික, බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සහ අවදානමට ලක්ව ඇති ඇතැම් ශාක හා සත්ව විශේෂද ඇතුළුව ශාක හා සත්ව විශේෂ 140 කට වැඩි ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇත.

වික්ටෝරියා සීක‍්‍රට් හි අධ්‍යක්ෂිකාවක් වන ජෙයිමි බෘක්ස් මහත්මිය දියතුරු උද්‍යානයේ නිරීක්ෂණයට එක් වෙමින්. හේලීස් ෆැබ්රික් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, රොහාන් ගුණතිලක මහතාද මෙහි වෙයි.

අනාගතයේදී මෙම තෙත්බිම් උද්‍යානය සාමාන්‍ය ජනතාවට සහ අනෙකුත් පාර්ශව සඳහා විවෘත කිරීමටද සමාගම අදහස් කරගෙන සිටියි. සඳහා ආයතනය විසින් උද්‍යානයේ පිවිසුමෙහි සමනල උයනක්, උද්‍යානය නැරඹීම සඳහා නැරඹුම් ස්ථානයක්, මෙම තෙත් බිම ආශ‍්‍රිතව ගැවසෙන පක්ෂීන් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කුළුණක්, ජලජ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීමට වැවක්, ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රවණාගාරයක් සහ පුස්තකාලයක් ද ඉදිකරනු ඇත.

එමෙන්ම ජෛව විවිධත්වය ආශ‍්‍රිතව කෙරෙන විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ හා ගවේෂණ සඳහා සහයෝගීතාව දැක්වීමට ද සමාගම කටයුතු කරන බවත් පවසයි.

තවද හේලීස් ෆැබ්රික් සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා එක් වී දියතුරු උද්‍යානයට යාබදව ආයතනය සතු අක්කර 5ක ඉඩමක් වෙන්කර කාබනික වී වගාවක් පවත්වාගෙන යාම ද විශේෂත්වයකි. මෙමගින් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය හා කාබනික කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කරනු ඇත.

එම අස්වනු අලෙවි කිරීමට මංපෙත් විවර කරමින් ඒ අවට ආහාර අලෙවිසැලක් ඉදිකිරීමට නියමිතය. එමගින් සේවකයින්ට කාබනික ගෙවතු වගාවක් තුළින් සපයාගත් අතිරික්ත නිෂ්පාදන මෙම ස්ථානය හරහා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

Visits: 591