කොමර්ෂල් බැංකුවේ ප්‍රේෂණ ගනුදෙනුකරුවන් මාස 04ක් තුළ රු. මිලියන 05 ක් ජයග්‍රහණය කරයි

කොමර්ෂල් බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කළ ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 05 ක මුදල් ත්‍යාග බැංකුව විසින් පසුගියදා ප‍්‍රදානය කරන ලදී.

මෙම රුපියල් මිලියන 05 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා මාසික දිනුම් ඇදීම් වලින් රුපියල් මිලියනයක ප‍්‍රථම ත්‍යාග ලබාගත් ජයග‍්‍රාහකයින්ට ගෙවූ රුපියල් මිලියන හතරක මුදලත් රුපියල් 25,000 ක් බැගින් ලබාදුන් සැනසිලි ත්‍යාග 40 කුත් ඇතුළත් වේ. පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් එවීම දිරිමත් කරමින් තවත් මිලියන පතියන් බිහිකිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මෙහිදී, රුපියල් මිලියනයක් බැගින් ප‍්‍රථම ත්‍යාග දිනාගත් ජයග‍්‍රාහකයින් සිව්දෙනා වූයේ මොරටුවේ වයි.සී.එස්. පීරිස් මහතා, කිරිබත්ගොඩ ඒ.ඞී. මාලනී සෝමලතා ප‍්‍රනාන්දු මහත්මිය, වෙන්නප්පුවේ ඩබ්ලිව්. සකුන් මධුරංග තාමෙල් මහතා සහ හොරණ සිවකුමාර් දිලානි මෙනෙවියයි. ඔවුන් සියළුම දෙනා මැදපෙරදිග කළාපයේ සිට මෙරටට පැමිණි පේ‍්‍රෂණ ලබාගත් අය වේ.

කොමර්ෂල් බැංකුවේ RemitPlus පේ‍්‍රෂණ සේවාව ඔස්සේ මෙරටට පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් ‘Win a Million’ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා එකතු කරගන්නා අතර මාසයකට වරක් දිනුම් ඇදීම් පැවැත්වීම සිදුකරයි. මේ අනුව, 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට එක්වීමට සුදුසුකම් ලැබීය. සෑම මසකම දිනුම් ඇදීම අවසන් වූ පසුව ජයග‍්‍රාහකයින් පිළිබඳ තොරතුරු බැංකුව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සහ බැංකුවේ ‘RemitPlus’ ඇප් සේවාව තුළින් ප‍්‍රසිද්ධ කරන ලදී.              

‘Win a Million’ ප‍්‍රවර්ධන වැඩසටහන මගින් කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සහ තවමත් පේ‍්‍රෂණ සම්බන්ධයෙන් එතරම් දියුණුවට පත්ව නැති වෙළෙඳපොළවල් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. එසේම, බැංකුවේ පේ‍්‍රෂණ කාඞ්පත, RemitPlus ඇප් සේවාව සහ පේ‍්‍රෂණ හා සම්බන්ධ අගය එකතු කළ සේවාවන් ජනප‍්‍රිය කිරීමද මෙම වැඩසටහනේ අරමුණක් බව බැංකුව පවසයි.

අවිධිමත් පේ‍්‍රෂණ මාර්ග වන හවාලා සහ උන්ඩියල් වෙතින් ඉවත්ව බැංකු ක‍්‍රමය හරහා පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමට අවශ්‍ය සැලකිය යුතු ප‍්‍රතිලාභයක්ද ගනුදෙනුකරුවන්ට ලබාදෙමින් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර ඇති බව බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ‘Win a Million’ ත්‍යාග මුදල් මගින් විදේශ රැකියා කරන අයට නිවසක් ඉදිකිරීමට, ඉඩමක් මිලදී ගැනීමට, ගේදොර උපකරණ මිලදීගැනීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආරම්භයක් ලබාගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව හිමිවේ. මේ නිසා, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනප‍්‍රිය වී ඇත.  

Visits: 40