මුල් මාස පහේදී අපනයන ආදායම ඩො. බිලියන 5 යි -වැඩිම ඇගලුම් – තේ ආදායම පහළට

2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 980.2 ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. මෙය 2021 වසරේ මැයි මාසයේදී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 891.7 ක අපනයන ඉපැයීම් හා සැසඳීමේදී 9.9 % ක වර්ධනයකි.

මෙහිදී ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ඉපැයීම් ඉහළ යාමයි.

මේ යටතේ මැයි මාසයේදී ඇගලුම් අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 482.7කි. එය පෙර වසරේදී ලැබූ ආදායම වූ ඩොලර් මිලියන 370.9ට සාපේක්ෂව 30.1%ක වර්ධනයකි. කෙසේ වෙතත් තේ අපනයන ආදායම මේ වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 93.7ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ මැයි මාසයේ ලබා ගත් ඩොලර් මිලියන 109.2ක ආදායමට සාපේක්ෂව 14.2%ක පසුබැසිමකි. එසේම රබර් ආශ්‍රිත නිෂ්පාදන ආදායමත් මේ වසරේ මැයි මාසයේදී 76.7ක් ලෙස සටහන්ව ඇති අතර අතර එය පෙර වසරේ මැයි මාසයට සාපේක්ෂව 15.9%ක අඩුවීමකි.

මේ අතර 2022 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ පළමු මාස පහක කාලයේදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 5,145.4ක් ලෙස සටහන්ව තිබේ. එය 2021 වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් මුළු අපනයන ආදායම වූ ඩොලර් මිලියන 4,692ට සාපේක්ෂව 9.7%ක වර්ධනයකි.  

මේ යටතේ වැඩිම ආදායම ඇගලුම් හා රෙදිපිළි හරහා ලැබි ඇති අතර, එය ඩොලර් මිලියන 2,400.6කි. එය පෙර වසරේ මුල් මාස පහේදී ලැබුණු ආදායම වූ ඩොලර් මිලියන 2,064.2ට සාපේක්ෂව 16.3%ක වර්ධනයකි. කෙසේ වෙතත් තේ අපනයන ආදායම ඩොලර් මිලියන 460.9ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර වසරේ මුල් මාස පහේදී ලැබූ ඩොලර් මිලියන 526.6ට සාපේක්ෂව 12.5%ක පසුබැසීමකි.

මේ අතර 2022 ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,472.7 ක් වූ අතර එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 93.3% කින් වැඩිවීමකි. අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් ඇස්තමේන්තු කර ඇති මෙම සේවා අපනයන ICT/BPM, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ ලොජිස්ටික් වලින් සමන්විත වේ.

Visits: 192