අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි. ඒ අනුව ලබන ජූලි 10 වැනිදා දක්වා කාලය තෙක් කිසිදු පිරවුම්හලකින් පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවන බවත් සඳහන් වෙයි.

අද පැවැති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම් දීම සඳහා පස්වරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව වරාය, සෞඛ්‍ය අංශ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම, කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදීම සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“අනෙකුත් සියලුම අංශ තම තමන්ගේ නිවෙස්වල සිට කටයුතු කිරීමෙන් මෙම දුෂ්කර අවස්ථාවේදී ඛනිජ තෙල් පරිභෝජනය සිමා කිරිම සඳහා අවශ්‍ය පියවර වෙත සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොවුණොත් අපිට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති සීමිත තොග බෙදාහැරීමේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි ජූලි මස 10 වැනිදා තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් අනෙකුත් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය  තීරණය කර තිබෙන්නේ.”

එසේම ලබන ජූලි 10 වැනිදා දක්වා කෙටි දුර ගමනා ගමන කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගින් පහසුකම් සැලසීමටත්, අන්තර් පළාත් බස් රථ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවීමටත් මෙහිදී තීරණය කෙරී තිබේ.

මේ අතර ලබන ජූලි 10 වැනිදා සිට ඛනිජ තෙල් සහ ගෑස් අඛණ්ඩව සැපයීම පිළිබඳව සැලැස්මක් සකස් කරමින් කටයුතු කිරීමටද කටයුතු යොදන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 90