බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ධුරය රැක ගනී

බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් සිය කන්සර්වේටිව් පක්ෂයේ (Tory) නායකත්වය සම්බන්ධයෙන් පැවැති විශ්වාසය පිළිබඳ ඡන්ද විමසීමෙන් ජය ගැනිමට සමත්ව තිබේ. බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ රාත්‍රියේදී මෙම ඡන්ද විමසීම පැවැත්වුණි.

මෙහිදී අගමැතිවරයාට පක්ෂව කන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 211 දෙනෙකු ඡන්දය ලබා දී ඇති අතර, ඔහුට එරෙහිව මන්ත්‍රීවරුන් 148 දෙනෙකු ඡන්දය ලබා දී තිබේ. ඒ අනුව අගමැතිවරයා සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් 63 දෙනෙකුගේ එනම් 59%ක බහුතර ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය ආරක්ෂා කරගැනිමට සමත්ව සිටියි.

කෙසේ වෙතත් මෙය පැහැදිලිවම අගමැතිවරයාගේ පක්ෂ නායකත්වයට එරෙහිව දැවැන්ත කැරැල්ලක අවස්ථාවක් ලෙසද විදෙස් දේශපාලන විචාරකයෝ හඳුන්වා දෙති. විශේෂයෙන්ම ඔහුගේ පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් මෙම ඡන්ද විමසිමට පෙරාතුවම අගමැතිවරයාට එම ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි.

බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් පසුගිය වසරේ එරට ක්‍රියාත්මක වූ කොරෝනා නිරෝධායන කාලසිමාවේදී එම නීති උල්ලංගණය කරමින් සිය අගමැති කාර්යාලයේදී සංවිධානය කළ බව පැවසෙන සාද සහ ඒ සම්බන්ධ පරීක්ෂණ මෙලෙස ජොන්සන් නායකත්වයෙන් ඉවත් කිරීමට මූලික හේතු විය.

ඒ අනුව කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 54ක් එනම් සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් 15%ක ප්‍රතිශතයක් පසුගියදා ඔහුගේ විශ්වාසය පිළිබඳ ඡන්ද විමසීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කෙරිණි.

යම් ලෙසකින් ඔහු මෙම නායකත්වය පිළිබඳ විශ්වාස ඡන්ද විමසීම පරාජයට පත් වුණි නම්, ඔහුට එම නායකත්වය අහිමි වන අතර, අගමැති ධූරයද අහිමිවීමට නියමිතව තිබුණි.

Visits: 46