2022/23 මහ කන්නයේ වී වගාවට පොහොර මෙට්‍රික් ටොන් 231,000ක් ආනයනයට අනුමැතිය

2022/23 මහ කන්නය තුළ හෙක්ටයාර 800,000ක වී වගා කිරීමට අවශ්‍ය රසායනික සහ කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදීමට රජය කටයුතු කර ඇතැයි පවසයි.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී මේ සඳහා වන අනුමැතිය හිමිව තිබේ. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.

ඒ අනුව 2022/23 මහ කන්නය සඳහා වී වගාව වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 150,000ක්, මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙට්‍රික් ටොන් 45,000ක්, ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) මෙට්‍රික් ටොන් 36,000ක් ලෙස පොහොර මෙට්‍රික් ටොන් 231,000ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි රජය පවසයි.

මෙහිදී අදාළ පොහොර ප්‍රමාණයන් සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් ආනයනය කර ගොවීන් වෙත බෙදාහැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

මේ අතර යූරියා 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ඉන්දීය අපනයන – ආනයන බැංකුවෙන්ඇ මෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබා ගැනීම සඳහා අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකටද කැබිනට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබේ.

මෙම ණය ලබා දිම සඳහා ඉන්දීය රජය මීට පෙර එකඟතාව පළ කර තිබී ඇත. ඒ අනුව අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අගමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබී ඇත.

Visits: 70