සංචාරක ඇමති හරීන් බොලිවුඩ් නළු නිළියන් සමගින් ‘Sri Lanka Can’ ප්‍රවර්ධනය අරඹයි

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් බොලිවුඩ් නළු නිලියන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ‘Sri Lanka Can’ ප්‍රවර්ධන වැඩසටහන සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් ඊයේ ආරම්භ කෙරිණි.

ඒ අනුව බොලිවුඩ් නළු නිළියන් වන චිත්‍රාන්ගදා සිං සහ ඩිනෝ මොරෙයා දෙපළ මෙහිදී ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සඳහා සම්බන්ධවී සිටියි. ඔවුන් යොදා ගනිමින් ඉදිරි සති කිහිපයේදී ඉන්දියාවේ මුම්බායි, දිල්ලි සහ බැංගලෝර් යන නගර තුළදී සංචාරක ප්‍රවර්ධන ඉසව් තුනක් සංවිධානය කිරීම සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතා, “බොලිවුඩ් තාරකාවන් වන ඩිනෝ මොරෙයා සහ චිත්‍රාන්ගද සිං ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ #Srilankacan වැඩසටහන සඳහා ඉදිරියට පැමිණීම ගැන ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර ඉන්දියාවේ සිනමා කර්මාන්තය වෙත ඉතාමත් සුදුසු දර්ශන තලයක් ලෙසද ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

වර්තමානයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් අතරින් විශාලතම සංචාරක වෙළෙඳ පොළ වන්නේද ඉන්දියාවයි. මේ වසරේමේ දක්වා කාලය තුළදී ඉන්දියානු සංචාරකයන් 61,951 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති අතර, පසුගිය මාසයේදී පමණක් ඉන්දියානු සංචාරකයන් 5,562 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

නව කොරෝනා වසංගතය පැමිනීමට පෙරාතුව 2018 වසරේදී ඉන්දියනු සංචාරකයන් 424,887 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එසේම 2019 දී පැමිණි ඉන්දියානු සංචාරකයන් සංඛ්‍යාව 355,002 දෙනෙකි. කෙසේ වෙතත් 2020 දී එය 89,357ක් දක්වා පහත වැටුණු අතර, 2021 දී එය 56,268ක් දක්වා තවදුරටත් පහළ වැටුණි.

Visits: 103