වැට් බදු සහ විදුලි සංදේශ බදු ඉහළ දැමීම මිශ්‍ර ප්‍රතිඵල සහිතයි

රජය විසින් ගන්නා ලද තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අගය මත එකතු කළ බදු හෙවත් වැට් බදු සහ විදුලි සංදේශ බදු ඉහළ දැමීමේ තීරණය සමාජය සහ ආර්ථිකය වෙත මිශ්‍ර ප්‍රතිඵල ගෙන එනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.

ඊයේ දිනයේදී නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව වැට් බද්ද 8% සිට 12%ක් දක්වා 4%කින් ඉහළ දැමිමටත්, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15%ක් දක්වා 3.75%කින් ඉහළ දැමීමත් සිදු විය. මුදල් ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම බදු වැඩි කිරීමේ යෝජනා ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් මෙලෙස බදු අයකිරීමේ ප්‍රතිශතය ඉහළ දැමීම හරහා යම් නිෂ්පාදන හා සේවා සඳහා වන අයකිරීම්ද අද සිට අනිවාර්යයෙන්ම ඉහළ දැමීමක් සිදුවන බවත්, ඒ අනුව එම අමතර පිරිවැයද පාරිභෝගික මහජනතාව වෙතම පැටවෙනු ඇතැයිද මෙම විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

ඒ අනුව දැනට පවතින ඉහළ උද්ධමන තත්ත්වය තවදුරටත් වර්ධනයවීමේ අවස්ථාවක් මින් උදාවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සකස් කළ මැයි මාසයේ උද්ධමන වාර්තාවට අනුව එය 57.4%ක් දක්වා ඉහළ නැග තිබේ. අප්‍රේල් මාසයේදී එය 46.6%ක් ලෙස සටහන්ව තිබුණි.

මෙහිදී විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත මින් දරුණු බලපෑමක් එල්ලවනු ඇති බවත්, ඔවුන්ගේ ජීවන වියදම් අර්බුදය තවදුරටත් උත්සන්න වෙනු ඇතැයිද අදහස වී තිබේ.

කෙසේ වෙතත් මෙලෙස බදු ඉහළ දැමීම හරහා රජය සැලසුම් කර ඇති බදු ආදායම් වර්ධනය කරගැනීම අනෙක් අතට රටට වඩාත් හිතකර තත්ත්වයක් ඇති කරනු ඇතැයිද මෙම විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. එහි ප්‍රතිලාභද ඉදිරියේදී ජනතාවටම ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව 2019 වසරේ අගභාගයේදී හඳන්වාදුන් බදු ප්‍රතිසංස්කරණ හරහා මෙම වැට් බදු සහ විදුලි සංදේශ බදු අඩු කිරීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් පසුගිය කාලයේදී වසරකට රුපියල් බිලියන 600ත් 800ත් අතර වටිනාකමක් සහිත බදු ආදායම් අහිමිවීමක් රජයට සිදුව තිබේ.

රජය පෙන්වා දී ඇති ආකාරයට 2019 වසරේදී රටෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.7%ක අගයක් ගත් බදු ආදායම් එකතු කිරීම, 2020 වසරේ දී සියයට 9.1 දක්වා අඩු වූ අතර, 2021 වසරේ දී එය සියයට 8.7 දක්වා තවදුරටත් අඩු වී තිබේ. ඒ අනුව මෙය කලාපයේ අඩුම ආදායම් අනුපාතය වූ අතර, ඒ හේතුවෙන් රජයේ ආදායම විශාල ලෙස අඩුවීමක් සිදුව තිබේ.  

කෙසේ දැනට ඉදිරිපත් කර ඇති මෙම වැට් බදු සහ විදුලි සංදේශ බදු ඉහළ දැමීම මගින් මෙම වසරේ ඉදිරි කාලය තුළ රැස් කිරිමට බලාපොරොත්තු වන ඇස්තමේන්තු ගත අමතර ආදායම රුපියල් බිලියන 94ක් බව රජය සඳහන් කර සිටියි. එසේම එය වසරක් තුළදී රුපියල් බිලියන 161කි.

ඊට අමතරව අදායම් බද්ද, රඳවා ගැනීමේ බදු සංස්ථාපිත අදායම් බද්ද, ඇතුළු බදු වර්ග ගණනාවක් ඔක්තෝම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරිමටද යෝජනා වී තිබේ.

Visits: 177